ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟම ලොව පුරා යුධ භීතියක් හටගෙන තිබෙනවා.
අමෙරිකාව විසින් සිදු කල මෙම ප්‍රහාරය රටවක් රැසක් හෙළා දැක ඇති අතර ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් පිරිසන් සාමයද ඉල්ලා තිබෙනවා.
මෙම ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයිද එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක සහිත අර්බුදයකට මනුෂ්‍යත්වය ඇද දමන බවද ඇතැම් රවටල් චෝදනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව තුළ ද දැඩි කතා බහක් මතුව ඇති අතර අමෙරිකාවේ ඇතැම් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා. ඔවුන් චෝදනා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ප්‍රහාර සිදු කර ඇති බවටයි.
එසේම මෙම ප්‍රහාරය මැදපෙරදිග යුද්ධයකට අමෙරිකාව ඇද දැමූ බව කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ පවසා ඇති අතර ඇය චෝදනා කර ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද කිසිදු අනුමැතියකින් තොරව සිදුකළ මෙම ප්‍රහාරය මැදපෙරදිග යුද්ධයකට අමෙරිකාව ඇද දැමූ බවයි.
එසේම අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය සිය අදහස් දක්වමින් පවසා ඇත්තේ එක්සත් ජනපදය අනවශ්‍ය ගැටුමකට ඇද නොදැමීම සඳහා කොංග්‍රසය ඉදිරියට ගොස් ට්‍රම්ප්ගේ අරමුණු සහ සැලසුම් පැහැදිලි කළ යුතු බවටයි.
මේ අතර එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉරාන ඊශ්‍රායලය අර්බුධය අවසන් කිරීම සදහා සාකච්ඡාවකට පැමිණ රාජ්‍යතාන්ත්‍රික විසදුමකට එළඹෙන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින බවයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ජාත්‍යන්තර ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව ඔහු එම නිවේදනයේ සඳහන් කර සිටිනවා. ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමට ඉඩ දිය නොහැකි බවත් එසේ සිදුවන තර්ජනයන් මැඩපැවැත්වීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් අමෙරිකාවේ මෙම ප්‍රහාරය හෙලා දැක තිබෙනවා.