කොළඹ වරායේ ඩොලර් මිලියන 392ක දැවැන්ත සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් චීන සමාගම ඉවත් වෙයි

කොළඹ වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජනා කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 129.65ක් හෙවත් රුපියල් කෝටි 12,965ක් පමණ වන) දැවැන්ත සැපයුම් හා ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් ඉවත් වීමට චීනයේ ‘චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංග්ස්’ (China Merchants Port Holdings) සමාගම තීරණය කර තිබේ. ‘දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්‍යස්ථානය’ ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය, වසර 50ක කාලයක් සඳහා ඉදිකිරීම්, මෙහෙයුම් හා පසුව ආපසු භාරදීමේ (BOT) පදනම මත ක්‍රියාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා හවුල්කාරිත්වය දැක්වූ සමාගම් අතරින් වැඩිම කොටස් හිමිකාරිත්වය එනම් 70%ක ප්‍රමාණයක් හිමිව තිබුණේ චීන සමාගමට අනුබද්ධිත ‘ෆෝචූන් සෙන්ටර් ගෲප්’ සමාගමටයි. ඊට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම 15% බැගින් වූ ඉතිරි කොටස් හිමිකාරිත්වය නියෝජනය කළේය.

ව්‍යාපෘතිය අවලංගු කිරීමට ගත් තීරණයත් සමඟ අදාළ ව්‍යාපෘති සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 21.905ක මුදලක් දින 30ක් ඇතුළත ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එකඟතාව පළ කර ඇත. එසේම, ව්‍යාපෘතිය සතුව දැනට ඉතිරිව පවතින බෙදාහැරිය හැකි අරමුදල් ද පෙර පැවති කොටස් හිමිකාරිත්වයේ අනුපාතයට අනුව අදාළ පාර්ශව අතර බෙදා හැරීමට නියමිතය.

අදාළ භූමියට සම්බන්ධ ඉඩම් ගැටලු, නියාමන බාධාවන් මෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අනපේක්ෂිත ප්‍රමාදයන් මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය අත්හැර දැමීමත් සමඟ අදාළ භූමි භාගය සංවර්ධනය කිරීම සඳහා නව ආයෝජන යෝජනාවලියක් කැඳවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය බලාපොරොත්තු වන අතර, මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ වරාය සහ සැපයුම් ක්ෂේත්‍රයට එල්ල වූ ප්‍රබල ආයෝජන පසුබෑමක් ලෙස දේශීය හා විදේශීය ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu