ථෙරවාද බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ අනුරාධපුරයයි - මිහින්තලයේදී රනිල් වික්‍රමසිංහ පවසයි

ලෝකවාසී කතෝලිකයන්ට වතිකානුවත්, ඉස්ලාම් භක්තිකයන්ට මක්කම අග්‍රගණ්‍ය වන්නාක් මෙන්ම, ලොව පුරා වෙසෙන ථෙරවාද බෞද්ධයන්ගේ උත්තරීතරම පූජනීය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ අනුරාධපුරය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මිහින්තලය මිහිඳු මහ සෑ රජුන්ගේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.

මිහිඳු මහා අරහත් හිමියන්ගේ පරිනිර්වාණය සිහිපත් කෙරෙන මෙම වටිනා අවස්ථාවේදී, තායිලන්තයේ පූර්ණ දායකත්වයෙන් සහ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් මෙම පින්කම සිදු කිරීමට ලැබීම පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා සිය කෘතඥතාව පිරිනැමීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා 

"පාටලීපුත්‍රයේ පැවති 3 වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කළ මිහිඳු හිමියන් ථෙරවාද බුදුදහම ස්ථාපිත කළේය. පසුව දේවානම්පියතිස්ස රජු විසින් මහා විහාරය ආරම්භ කර රුවන්වැලි මහා සෑය ප්‍රමුඛ කරගනිමින්, වසර දහසකට වැඩි කාලයක් එය ලෝක පූජිත අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වාගෙන ගියේය.

පාලි බුදුදහම උගන්වන ලද ප්‍රථම ස්ථානය මෙන්ම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද්දේ ද ශ්‍රී ලංකාවේදීය. පසුව පළමුවන පරාක්‍රමබාහු රජු දවස සියලු සංඝ නිකායන් මහා විහාරය වටා එක්සත් කරන ලදී.

පොලොන්නරු යුගයේදී තායිලන්තයේ සහ කාම්බෝජයේ හිමිවරුන් ථෙරවාද බුදුදහම හැදෑරීමට දිඹුලාගලට පැමිණි අතර, මෙරට භික්ෂූන් වහන්සේලා ද සුඛෝතායි සහ අංකෝර් වට් වෙත වැඩම කළහ. පසුව ශ්‍රී ලංකාවේ උපසම්පදාව අහිමි වූ යුගයක තායිලන්තයේ අයුත්ථයා නගරයෙන් ලංකාවංශ භික්ෂූන් වැඩම කරවා සියම් නිකාය ආරම්භ කරන ලදී. එමෙන්ම අනගාරික ධර්මපාලතුමන් බුද්ධගයාව බෞද්ධයන් සතු කරගැනීමේ සටනට බැසි මොහොතේ ඊට මූල්‍යමය අනුග්‍රහය දැක්වූයේ තායිලන්තයේ 5 වන රාම රජතුමාය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙමින් සසුන සුරකින අතරම අනෙකුත් ආගම්වලට ද ආරක්ෂාව සපයා ඇත. තායිලන්තයේ ද රජු බෞද්ධයෙකු විය යුතු බවට සහ බුදුදහම ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන පවතී. තමන් නිරන්තරයෙන් අවධාරණය කළ ‘ථෙරවාද ආර්ථිකය’ සහ තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම පිටුපස තිබුණේ ද මෙම කලාපීය පොදු සාමය සහ උරුමයයි."


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu