ශ්‍රී ලංකාව නැවතත් අර්බුදයකට? කළු ආර්ථිකයේ වර්ධනය ගැන සවුත් ඒෂියා මොනිටර් වෙතින් අනතුරු ඇඟවීමක්!


ශ්‍රී ලංකාව මතුපිටින් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරන බවක් පෙන්නුම් කළද, රට අභ්‍යන්තරයේ නීතිවිරෝධී කළු ආර්ථිකය (Underground Economy) සහ අල්ලස්-දූෂණ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව 'South Asia Monitor' වෙබ් අඩවියේ අලුත්ම විශ්ලේෂණ වාර්තාවකින් අනාවරණය කර තිබේ. ජනතාවගේ සාමාන්‍ය ආදායමට සාපේක්ෂව නිවාස කුලී පිරිවැය සැසඳීමේදී, 2025 වසරේ ලොව දෙවනුවට අධිකම නිවාස පිරිවැයක් සහිත රට බවට ශ්‍රී ලංකාව පත්වීමටද මෙම අවධිමත් ආර්ථිකයේ බලපෑම හේතු වී ඇත.

වාර්තාවට අනුව, මෙම අහිතකර තත්ත්වය පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණ කිහිපයකි:

මුදල් නෝට්ටු සංසරණය ඉහළ යාම: ඩිජිටල් ගෙවීම් ක්‍රම ජනප්‍රිය වෙමින් පැවතියද, භෞතික මුදල් භාවිතය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත. 2026 පළමු කාර්තුව වන විට සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය 2023 වසර අවසානයට වඩා 42%ක ශීඝ්‍ර වර්ධනයකි.

ප්‍රාග්ධනය පිටතට ගලායාම: 2024 සිට 2026 දක්වා කාලය තුළ කොටස් ආයෝජන ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ මුදලක් රටින් පිටව ගොස් තිබේ. මෙය ඊට පෙර වසර 5 සාමාන්‍යයට වඩා හතර ගුණයක වැඩිවීමකි.

සුඛෝපභෝගී දේපළ වෙළඳපොළ සහ මුදල් විශුද්ධිකරණය: අසාධාරණ ලෙස උපයන මුදල් සුදු කිරීම සඳහා සුඛෝපභෝගී නිවාස ක්ෂේත්‍රය යොදා ගන්නා බවට නිරීක්ෂණය වේ. සාමාන්‍ය නිවාස අලෙවිය මන්දගාමී වුවද, අති සුඛෝපභෝගී නිවාස (Luxury Condos) සඳහා පැවැති ඉල්ලුම 2025 දී පැවැති 33% සිට 2026 පළමු කාර්තුව වන විට 52% දක්වා ඉහළ ගොස් ඇත.

මෙම වර්ධනයන් හේතුවෙන් රටේ සමස්ත ධනය සීමිත පිරිසක් අතර පමණක් කේන්ද්‍රගත වෙමින් පවතින අතර, බහුතර ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙති. දැනටමත් මෙරට දරිද්‍රතා අනුපාතය 25% ඉක්මවා ඇති අතර, උගත් තරුණ රැකියා විරහිතභාවය 43% ඉක්මවා ගොස් තිබේ.

දිනෙන් දින උග්‍ර වන මෙම ආදායම් විෂමතාවය සහ අසාධාරණත්වය හමුවේ, ඉදිරියේදී නැවතත් බරපතළ සමාජ හා මහජන නොසන්සුන්තාවයක් මතුවීමේ දැඩි අවදානමක් පවතින බව South Asia Monitor වාර්තාව අවධාරණය කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu