ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු
පසුගිය කාලයේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත්වීමේ ක්රියාවලිය මන්දගාමී වීම මෙන්ම සමස්ත නිෂ්පාදන ඵලදායිතාව අපේක්ෂිත මට්ටමක නොපැවතීම මෙම පසුබෑමට ප්රධාන හේතු වී ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම, ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින දිගුකාලීන අස්ථාවරතා තත්ත්වයන්, දේශගුණික විපර්යාස සහ කාලගුණික විපර්යාසවල බලපෑම් (එල්නිනෝ සංසිද්ධිය වැනි තත්ත්වයන්) හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව සහ සමස්ත ඵලදායිතාව දැඩි අවදානමකට ලක්විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
වත්මන් ආර්ථික තත්ත්වය සහ අසම්පූර්ණ හැරවුම
ශ්රී ලංකාව මූලික ආර්ථික ස්ථාවරත්වයක් සහ ප්රතිසංස්කරණ ක්රියාවලියක් හරහා යම් ප්රකෘතිමත් වීමක් පෙන්නුම් කළද, සාමාන්ය පුරවැසියාගේ ජීවන තත්ත්වය සහ ගෘහ ආදායම් මට්ටම් තවමත් අපේක්ෂිත ප්රගතියක් ලබා නැති බව ලෝක බැංකුව පෙන්වා දෙයි. විශේෂයෙන්ම, 2025 වසරේදී ඉහළ මට්ටමක පැවති දරිද්රතා අනුපාතය තවදුරටත් සැලකිල්ලට ගත යුතු අභියෝගයක් වී ඇති අතර, වෙළඳපොළේ උද්ධමනකාරී පීඩන හේතුවෙන් පවුල්වල සැබෑ ක්රය ශක්තියට (ඔබ අත ඇති මුදලින් කොපමණ දෙයක් මිලදී ගැනීමට ඇති හැකියාව) බලපෑම් එල්ල වී තිබේ.
මෙම අභියෝග ජය ගනිමින් දිගුකාලීන ස්ථාවර සංවර්ධනයක් කරා ළඟා වීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන පුළුල් කිරීම, අපනයන නංවාලීම සහ කෘෂි ව්යාපාර ඇතුළු ඵලදායිතා ක්ෂේත්රයන්හි ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම අත්යවශ්ය බව ලෝක බැංකු විශේෂඥයෝ අවධාරණය කරති

