පැය 4ට අඩු ශ්‍රී ලංගම බස් ගමන්වාර අතරමග තේ පැන් සංග්‍රහ සඳහා නැවැත්වීම තහනම් කෙරේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලං.ග.ම.) අයත් කෙටි දුර ධාවන බස් රථ ගමන්වාර අතරමගදී තේ පානය සඳහා නතර කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව ධාවන කාලය පැය හතරකට වඩා අඩු බස් රථ සඳහා මෙම තීරණය ඉදිරියේදී සෘජුවම බලපැවැත්වෙනු ඇත. මගීන්ගෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි සලකා බලමින් මෙම පියවර ගත් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අලුත් තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ බස් රථ කාලසටහන නිසි ලෙස පවත්වාගෙන යාමයි. එමගින් මගී ජනතාවට අනවශ්‍ය ප්‍රමාදයන්ගෙන් තොරව, නියමිත වේලාවට සිය ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව සැලසෙනු ඇත.

එමෙන්ම ඇතැම් බස් රථ තේ පානය සඳහා නතර කරනු ලබන ආපනශාලාවල පවතින අසෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳව ද පැමිණිලි රැසක් ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu