gossiplanka alexa ජාතික සැලැස්මකට අනුව දිවයින පුරා ඉදිවන නිවාස

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතික සැලැස්මකට අනුව දිවයින පුරා ඉදිවන නිවාස

කොළඹ ඇතුලු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන (URPඵ්) සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘතිය (SCURP) සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අගමැතිවරයා මේ බව පවසා තිබුණා.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන

"නාගරික අවිධිමත් ජනාවාස වෙනුවට මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2010 වසරේ බව මෙහි දී සිහිපත් කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා 2024 වනවිට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000ක් සාදා නිම කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

ප්‍රධාන වශයෙන් කොළඹ අඩු පහසුකම් නිවාස මහල් නිවාස බවට පත් කිරීම මෙහි ඉලක්කයයි. ඒ අනුව නිවාස ඒකක 14,611ක් දැනටමත් ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස 5590ක් දැනට ඉදිකරමින් තිබෙන බව ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය.

මෙම වැඩසටහන්වල පළමු කාර්තුවට අදාළ ප්‍රගතිය සහ ඉදිරි කාර්තු වලට අදාළ අපේක්ෂිත ප්‍රගතිය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව කාලිංග මාවත, හයසිය එක වත්ත (ස්ටේඩියම් ගම) සහ කොළොන්නාවේ දැනට වැඩ අවසන් වූ නිවාස ව්‍යාපෘති හා කාලිංග මාවතේ සහ කොළඹගේ මාවතේ මේ වසරේ වැඩ අවසන් වීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබඳව හෙතම පැහැදිලි කළේය.

කුරුණෑගල විල්ගොඩ  ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී නිවාස ඒකක 300ක ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

මෙයට අමතරව චීන ප්‍රදාන යටතේ නිවාස 1996ක් ලැබී ඇති බවත් එම නිවාස ව්‍යාපෘති දෙමටගොඩ, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාට ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත බවත් උදය නානායක්කාර මහතා මෙහි දී කරුණු හෙළි කළේය.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක මේ සෑම ව්‍යාපෘතියක්ම 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට සැලසුම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආධාර යටතේ කොළඹ ඇපල්වත්ත අදියර 3 යටතේ ඉදිවන නිවාස 400ක්, කිඹුලාඇල නිවාස 472ක්, මහරගම නිවාස 600ක් ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.

ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේදැයි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් අග්‍රාමාත්‍යතුමා මෙහි දී විමසා සිටියේය.

අදාළ ව්‍යාපෘතිය කොට්ටාව පළතුරුවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත් කලාකරුවන් වෙනුවෙන් නිවාස 108ක් එහි ඉදිවන බවත් මෙහි දී නිලධාරිහු අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්හ.

රුපියල් මිලියන 6-7ක් වටිනා නව නිවසක් වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ගෙන් දැනට අයකරන මුදල රුපියල් මිලියනයක් පමණ බවත් එම මුදල මසකට රු.3000 වැනි සුළු මුදලක් යටතේ වසර 30ක දී අයකර ගන්නා බවත් මෙහි දී සඳහන් විය.

නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී කුලී පදනම යටතේ සිටින පදිංචිකරුවන් වෙනුවෙන් ද නිවාස ලබා දිය යුතු යැයි තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

“නාගරික ප්‍රදේශවල අවුරුදු 20-30 කුලියට ජීවත් වන අය ඉන්නවා. එක ගෙදර දෙකට බෙදන් ඉන්න අයත් ඉන්නවා. සමහරු මේවා පවත්වාගෙන යන්නෙ ප්‍රධාන පාසල්වලට ළමුන් දාන්න. ඒ නිසා අවිධිමත් ජනාවාස ඉවත් කරන්න නම් මේ කුලියට ඉන්න අයටත් නිවාස ව්‍යාපෘතිවලින් සියයට 10ක්වත් දිය යුතුයි. අමාත්‍යාංශය ඊට අදාළ නිර්ණායක හදලා කැබිනට් අනුමැතියට යොමු කරා නම් වටිනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි පොලිසිය ඇතුළු රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලින් ලැබී ඇති ඉල්ලීම් සහ ඊට අදාළව හඳුනාගෙන ඇති වටිනා ඉඩම් සම්බන්ධ ව්‍යාපෘති යෝජනා ගැන නිලධාරිහු මෙහි දී යෝජනා ඉදිරිපත් කළහ.

“ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන ජාතික සැලැස්මකට අනුව අපේ රට සංවර්ධනය විය යුතුයි. අඩුම අවුරුදු 10ක්වත් එක දිගට ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ නිසා හැම තැනම තියෙන ඉඩම් වගේම ඊට අදාළ ව්‍යාපෘති එක්ක පුළුල් සාකච්ඡාවකින් පසු මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවශ්‍යයයි. නිවාස ව්‍යාපෘතිම ක්‍රියාත්මක කරනවා වෙනුවට රථ වාහන තදබදය, පාසල් අවශ්‍යතා, පරිසරය මේ හැම පැත්තක්ම අවධානය යොමු කරමින් අපි කටයුතු කළ යුතු යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව ජාතික සැලැස්මට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එච්. කරුණාරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගී වූහ."


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu