gossiplanka alexa වේදනාකාරී මරණ දඬුවම් වෙනුවට සාමකාමී වේදනා විරහිත මරණ දඬුවමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වේදනාකාරී මරණ දඬුවම් වෙනුවට සාමකාමී වේදනා විරහිත මරණ දඬුවමක්


ඇමරිකාවේ වේදනා විරහිත මරන දඬුවම ක්

"මං ඔයාට ආදරෙයි" ඔහුගේ අවසන් වදන් කිහිපය ඒ විය. ඉන්පසු ඔහු තම පෙම්වතියගෙන් ඉවතට මුහුණ හරවා ගත්තේය. මරණය තමා වෙත ඇදී එනු ඔහුට දැනිණ. ඔහු වැතිරී උන්නේ සුදු පැහැ ගිලන් මැස්‌සකය. ඔහුගේ එක්‌ අතකට ඖෂධ ඇතුළු වෙන බටයක්‌ විඳ තිබුණු අතර වෛද්‍යවරයෙකුද ඔහු අසලම උන්නේය.

මේ කතා කරන්නේ රෝහලක අසාධ්‍යව සිටින රෝගියෙකු ගැන යෑයි ඔබ සිතන්නට පුළුවන. නැත. ඔහු මරණ දඬුවම ලබන සිරකරුවෙකි. නමින් චාල්ස්‌ බෲක්‌ස්‌ ය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ ඔහුගේ මේ අවසන් මොහොත ගෙවෙන්නේ රෝහලක නොවේ. ටෙක්‌සාස්‌ බන්ධනාගාරයේ මරණ දඩුවම් කුටියෙහිය. මේ සිදුවීම සිදුවන්නේ 1982 වසරේදීය. එය ඇමරිකා එක්‌සත් ජනපදයේ අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දෙන්නට මරණීය එන්නත භාවිතා කළ මුල්ම අවස්‌ථාවයි. මේ සුවිශේෂී මොහොතට පෙරාතුව, එරට මරණ දඩුවම ලබා දීමේ ප්‍රධාන ක්‍රමය වූයේ විදුලි පුටුවයි. වර්තමානයේ විදුලි පුටුව සැලකෙන්නේ දැඩි හිංසනයක්‌ සිදු කෙරෙන මරණ දඩුවම් ක්‍රමයක්‌ ලෙසයි. ඇත්තෙන්ම විදුලි පුටුව බිහිසුණු දඬුවම් ක්‍රමයකි. වධයට ලක්‌ වෙන්නාගේ ඇස්‌ මදය පුපුරා පිටතට විසිවෙයි. හිසකෙස්‌ වලට ගිනි ඇවිලෙයි. බොහෝ විට බන්ධනාගාර නිලධාරීන්ට අවට සිටිනවුන්ව පවා ඉවත් කරන්නට සිදුවෙයි.

මේ මාරක එන්නත විදුලි පුටුවට වඩා කාරුණික හා තාක්‍ෂණික වශයෙන් දියුණු එකක්‌ විය. රුධිර වහනයක්‌ හෝ විලාප තැබීමක්‌ නැත. චාල්ස්‌ බෲක්‌ ගේ මරණය ඇසින් දුටුවෙකු පැවසූයේ ඒ එන්නත ලබා දීමෙන් පසු ඔහු මදක්‌ අසීරුවෙන් හුස්‌ම ගෙන ඈනුම් හැරීමක්‌ පමණක්‌ කළ බවයි. "මේ පුද්ගලයා මියගොස්‌ ඇති බව මම නිවේදනය කරමි" යි එහි උන් වෛද්‍යවරයා නිවේදනය කළේ විනාඩියක්‌ ගතවෙන්නටත් මත්තෙන්ය.

වර්තමානයේ එක්‌සත් ජනපදයේ හැම ප්‍රාන්තයකම වාගේ මරණ දඬුවම නියම කෙරුණු අපරාධකරුවෙකුට දඬුවම් ලබා දීම සඳහා පළමුවෙන්ම තෝරා ගැනෙන්නේ මෙම ක්‍රමවේදයයි.

එහෙත් මේ ක්‍රමය බාහිරින් පෙනෙනා තරම් සාමකාමී මරණයකට හේතු වනවාද යන්න සැක සහිත විය. එයට හේතුව නම් කිසිවෙකු මේ ගැන නිසි පර්යේෂණයක්‌ කර නොතිබුණු බැවිනි. 2005 වසරේදී මෙම මාරක එන්නත මගින් කෙරෙන මරණ දඬුවම් දහසකට අධික ප්‍රමාණයක්‌ ක්‍රියාත්මක කෙරුණු අතර, මේ පිළිබඳව නිසිආකාර පර්යේෂණයක්‌ කරන්නට විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ තීරණය කළහ. ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානා පොලිස්‌ හි ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ලියොනිඩාස්‌ කොනියාරිස්‌ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මේ පර්යේෂණයේදී ටෙක්‌සාස්‌ හා වර්ජිනියා ප්‍රාන්ත වල ක්‍රියාත්මක කළ මරණ දඬුවම් පිළිබඳව අධ්‍යයනය කරනු ලැබිණ. මේ අධ්‍යයනයෙන් හෙළි වූයේ මරණ දඩුවම ලැබූ රැඳවියන්ගෙන් 44%ක්‌ පමණම මරණ මොහොතේදී තමන් මිය යන බව දැන උන් බවත්, එහිදී කටුක වේදනාවක්‌ අත්විඳි බවය. අවසන් මොහොතේදී වේදනාවෙන් දඟලන්නට හෝ කෑ ගසන්නට ඔවුන්ට නොහැකි වී ඇත්තේ එන්නතේ ඇති විෂ ද්‍රdවණය ඔවුන්ගේ මාංශපේශීන් අක්‍රිය කොට තිබුණු බැවින් යෑයි සොයාගනු ලැබිණ. තව දුරටත් පර්යේෂණ කිරීමේදී අනාවරණය වූයේ මෙහි අඩංගු එක්‌ සංඝටකයක (හෘදයේ ක්‍රියාකාරිත්වය නවතන සංයෝගයේ) ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවුණු බවය.

"මේ ආකාරයට සැලකුවාම ඒ මරණ සිදු කරලා තිබෙන්නේ හුස්‌ම හිර කිරීමෙන්." වෛද්‍ය ලියොනිඩාස්‌ පැවසුවේය "මේක බොහොම කනගාටුදායක වගේම භයානක තත්ත්වයක්‌. අපි දැන් සිතාගෙන ඉන්නේ අපි අමානුෂික ආකාරයේ මරණ දඬුවම්වලින් සෑහෙන ඈතට ගිහින් කියලනෙ. ඒත් ඒක නිවැරදිද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.." වර්තමානයේදී මරණ දඬුවමට එකඟත්වය පළ කරන ඇමරිකානුවන් අතරින් පවා, එය වේදනාත්මක දඩුවමක්‌ විය යුතු යෑයි සිතන අය සිටින්නේ අල්පයකි. මේ වනවිට මරණ දඬුවම ලබා දීමේ මාරක එන්නත නිපදවීම සදහා අවශ්‍ය ඖෂධ වල හිඟතාවක්‌ ඇති බැවින් ඒ සඳහා විකල්ප ඖෂධ පිළිබඳව පර්යේෂණයන් කෙරෙමින් පවතියි. මේ විකල්ප අත්හදාබැලීම් එතරම් සාර්ථක තත්ත්වයක නොපවතින අතර එනිසාම මාරක එන්නත මේ වන විට අර්බුදයකට ලක්‌ වී ඇති බව කිව හැකිය.

ඇත්තෙන්ම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කරවීම සදහා මීට වඩා මානුෂීය විකල්පයක්‌ තිබේද.?

වසර දහස්‌ ගණනකට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ පොදු ජනතාව ඉදිරිපිට ප්‍රදර්ශනාත්මක ලෙසය. මරණ දඬුවම ලබන මිනිසාව සතුන් සමග ගෝනියකට දමා ගැට ගසා දියෙහි ගිල්ලවීමේ සිට ඔහුගේ පෙනහලු එළියට ඇද දැමීම දක්‌වා වූ විවිධාකාර ක්‍රමවේදයන් මගින් මිනිසුන්ට මරණ දඬුවම ලබා දුන් අතර, මිනිසාට මරණ දඬුවම ලබා දීමේ ක්‍රමවේද පිළිබඳව ඇති නිර්මාණශීලී අදහස්‌ වල නම් කිසි දිනක අඩුවක්‌ නොතිබිණ. එහෙත් නීත්‍යනුකූලව සිදු කෙරුණේ නම් ඒවායින් අල්පයක්‌ පමණකි. පුරාණ පර්සියාවේ මරණ දඬුවම් ලබා දීම සඳහා "chapism" නම් ක්‍රමවේදයක්‌ විය. මරණයට කැපවූ පුද්ගලයාගේ සිරුර පැදගෙන යමින් තිබෙන බෝට්‌ටු දෙකකට මැදි කර අඹරා සිරුරෙහි ඇති වන තුවාල මතින් පැණිත් කිරිත් වත් කර, එම පුද්ගලයා පණ පිටින් සිටියදීම පළිබෝධකයින්ට කා දමන්නට ඉඩ හැරීම එම ක්‍රමයයි. 14 වන සියවසේදී ඉන්දියාවේ දිල්ලි වෙත ගිය සංචාරකයකු වාර්තා කළේ ඇතුන්ගේ දළ වල සවි කළ මුවහත් කඩු තල මගින් සිරකරුවන් කපා මරා දමන දර්ශනයක්‌ දුටු බවයි.

කෙසේ වෙතත්, සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ වඩාත් මානුෂික මරණීය දණ්‌ඩනයක්‌ සඳහා අවශ්‍යතාවද පැන නැගී තිබිණ. ඒ අවශ්‍යතාව ක්‍රියාවේ යෙදවෙන්නට පටන් ගත්තේ 1789 දී මුලින්ම ගිලටීනය සොයා ගත් අවස්‌ථාවේ පටන්ය. ඒ වන විට ප්‍රංශ විප්ලවය පටන් ගෙන තිබුණු අතර පැරිසියානු වංශවතුන්ගේ හිස්‌ ගසා දමන්නටත් පටන් ගෙන තිබිණ. එවන් හිස ගැසුම් වලදී බොහෝ විට පුද්ගලයෙකුගේ හිස ගසා දමන්නට පොරෝ පහර කීපයක්‌ එල්ල කරන්නට වුවමනා විය. එය සිරකරුවන්ට මෙන්ම දකින අයටත් බිහිසුණුම අත්දැකීමක්‌ වන හෙයින් මේ සඳහා වඩාත් නවීන ක්‍රමවේදයක්‌ වුවමනා වී තිබිණ. මේ හිස්‌ ගසා දැමුම් වඩාත් මානුෂීය ක්‍රමවේදයකට ක්‍රියාත්මක කළ යුතුය යන අදහස මුලින්ම ගෙන එන්නේ වෛද්‍යවරයෙකු වූ ජෝෂප් ඉග්නාස්‌ ගිලටීන් විසිනි. ඔහු විසින් ලී රාමුවක සවි කළ, මරණ දණ්‌ඩනයට ලක්‌ වන්නාගේ හිස එක්‌ පහරකින් කැපී වෙන්වී යන තරමට මුවහත් තලයක්‌ සහිත අලුත් උපකරණයක්‌ හඳුන්වා දෙන්නේ ඒ අදහස ඔස්‌සේය.

"¨දැන් මගේ මේ යන්ත්‍රයෙන් ඇහි පිය ගහන පමාවෙන් කෙනෙකුගේ හිස කදින් වෙන් කරන්නට පුළුවන්. මේ විදිහෙන් පුද්ගලයාට වේදනාවක්‌ දැනෙන්නේ නෑ." වෛද්‍ය ජෝෂප් ගිලටීන් ප්‍රකාශ කළේය. මේ උපකරණය වෛද්‍ය ජෝෂප් ගිලටීන්ගේ නමින්ම "ගිලටීනය" යනුවෙන් නම් කෙරුණු අතර එය දිගු කලක්‌ තිස්‌සේ මරණ දඬුවම ලබා දීම සදහා භාවිතා කෙරිණ. එහෙත් මෙය හිතූ තරම්ම මානුෂික ක්‍රමවේදයක්‌ද.? 1975 වසරේදී කළ අධ්‍යයනයකින් හෙළි වූයේ එවන් හිස ගසා දැමීමකින් පසුවද තත්පර නවයත් දහ අටත් අතර කාලයක්‌ තුළ හිස ගසා දැමුණු පුද්ගලයාගේ පියවි සිහිය රඳා පවතින බවයි. මීයන් සහ කුඩා ප්‍රමාණයේ ගිලටීන යොදාගෙන කළ මේ පර්යේෂණයේදී තහවුරු වූයේ මීයන්ගේ පියවි සිහිය රැඳෙන කාල සීමාවම අනෙකුත් සතුන්ටත්, මිනිසුන්ටත් පොදු වන බවය.

එහෙත් හිස ගසා දැමීමෙන් මරණයට පත් කිරීමේ ක්‍රමවේදය අදටත් ක්‍රියාත්මක වෙයි. සවුදි අරාබියේ අදටත් මරණ දණ්‌ඩනය සඳහා බහුලව ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමවේදයයි. 2017 වසරේදීද සවුදි අරාබිය තුළ මිනිසුන් 146 දෙනෙකු හිස ගසා දැමීම මගින් මරණ දණ්‌ඩනයට පත් කර ඇත.

වර්තමානයේදී බහුලව ක්‍රියාත්මක වන මරණ දණ්‌ඩන ක්‍රමය වනුයේ එල්ලා මැරීමයි. මෙය ආකාර දෙකකට සිදු කරනු ලබයි. එකක්‌ කෙටි දුර ගිලිහීම වන අතර අනෙක්‌ ක්‍රමය දිගු දුර ගිලිහීම වෙයි. පුද්ගලයෙකු කෙටි උසක සිට පතිත කරවීමෙන් එල්ලා මැරීමේ ක්‍රමයෙන් සිදුවන්නේ එම පුද්ගලයාගේ හුස්‌ම හිර කිරීමෙන් මරණය සිදුකිරීමයි. මෙය ඉතාමත් වේදනාත්මක ක්‍රමයකි.

දිගුදුර ගිලිහීම හෙවත් වැඩි උසක සිට පතිත කරවීම වඩාත් මානුෂීය ක්‍රමවේදයකි. වැඩි උසක සිට පතිත කරවන විට මරණයට පත් කෙරෙන පුද්ගලයාගේ බෙල්ලේ දෙවැනි අස්‌ථිය බිඳීමට ලක්‌ වෙයි. එහිදී කශේරුකාවට සිදු වන හානිය නිසා එම පුද්ගලයාගේ රුධිර පීඩනය තත්පර ගණනකදී බින්දුවටම පහත වැටෙයි. එම ක්‍රමයේදී එකී පුද්ගලයාගේ සිහිය ක්‍ෂණිකව නැති වෙන අතර තත්පර විස්‌සක්‌ ඇතුළත හදවතේ ගැස්‌ම නවතියි. "කොහොම වුණත් මේ ක්‍රමයේත් සැලකිය යුතු තරම් වැරදි සිදුවෙනවා. අපි බලාපොරොත්තු වෙන න්‍යායන්ට අනුව මරණය සිදුවෙනවා නම් ඒක වේදනාත්මක නොවෙන මරණයක්‌ වෙන්නට ඉඩ තියෙනවා. ඒත් ඒ න්‍යායයන් හැම විටම ප්‍රායෝගික නැහැ.." UC Berkeley වල ඇති Death Penalty Clinic හි මේගන් මැක්‌ක්‍රැකන් පවසයි. 1996 වසරේ පටන් මේ දක්‌වා එක්‌සත් ජනපදයේ කිසිදු ප්‍රාන්තයක එල්ලා මැරීමක්‌ සිදුවී නැත.

විදුලි පුටුවේ ක්‍රමවේදය මුලින්ම හදුන්වා දුන්නේ එල්ලා මැරීමට වඩා සැලකිය යුතු තරමින් මානුෂීය මරණ දඬුවමක්‌ වශයෙනි. ගිලටීනයත් මාරක එන්නතත් මෙන් එයද ශිෂ්ට හා විද්‍යානුකූල බව පැවසිණ. මේ ක්‍රමවේදය යොදා ගත්තේ මිනිසෙකු මැරීමේ ආකාර 34 ක්‌ ගැන වූ ඇඟ කිලිපොලා යන වාර්තාවක්‌ නිව්යෝක්‌ හි සිදුවූ අධ්‍යයනයකින් ඉදිරිපත් වූ පසුවය.

එකී වාර්තාවේ එක්‌ කතුවරයෙකු වූ දන්ත වෛද්‍යවරයෙකු බීමත් වරාය සේවකයෙකු විදුලි ජෙනරේටරයක්‌ හේතුවෙන් ක්‍ෂණික මරණයට ලක්‌ වූ අවස්‌ථාවක්‌ ගැන සඳහන් කොට තිබිණ. විදුලි පුටුව පිළිබඳ සංකල්පය ජනිත වූයේ මේ ඇසුරින් විය හැකිය. එහෙත් විදුලි පුටුව පිළිබඳ මහජනයා තුළ තිබුණු ප්‍රසාදයද වැඩි කල් පැවතියේ නැත. විදුලි පුටුවේ මරණ දඬුවම්වල වරින්වර ඇතිවුණු සංකීර්ණතාවයන් හේතුවෙන් ජනතාවගේ සිත් සතන් තුළ ඒ පිළිබඳව අපැහැදීමක්‌ මතුවිය. මරණ දඬුවම් ක්‍රමවේදය පිළිබඳව අලුත්ම සංකල්පය බිහිවූයේ ඉන් පසුවය. ඒ 'නයිට්‍රජන් හයිපොක්‌සියා' ය. මෙකී ක්‍රමවේදය වන්නේ මරණයට පත් කළ යුතු තැනැත්තාට නයිට්‍රජන් හා හීලියම් වායු ශරීරගත කිරීමය. මයිකල් පෝර්ටිලෝ විසින් කරන ලද බීබීසී වාර්තා වැඩසටහනකින් පසු අලුත් සංකල්පය පිළිබඳ උනන්දුව ජනිත විය. How to Kill a Human Being නම් එම වාර්තා වැඩසටහනට අනුව මෙය පරිපූර්ණ මිනීමැරුම් ක්‍රමවේදයකි. පිරිසිදු නයිට්‍රජන් ආඝ්‍රාණය කිරීමෙන් තත්පර 17ත් 20 ත් අතර කාලයක්‌ තුළදී මිනිසෙකුගේ පියවි සිහිය මුළුමනින් නැතිව යන අතර මේ ක්‍රමයෙන් සිදුවන මරණය මුළුමනින්ම වේදනා විරහිත බව විද්‍යාත්මකවද පෙනෙන්නට තිබිණ. මේ වන විට එක්‌සත් ජනපදයේ ප්‍රාන්ත තුනක මරණ දඬුවම සදහා මේ ක්‍රමවේදයට නීතිමය අවසරය දී ඇත. එහෙත් මෙයත් තවත් අත්වැරදීමක්‌ම වේදැයි ඇතැමුන් සැක පහල කරයි.

Death Penalty Information Center හි විධායක අධ්‍යක්‌ෂක රොබර්ට්‌ ඩන්හැම් මේ පිළිබඳව අදහස්‌ දක්‌වන්නේ මෙසේය.

"ඇමරිකානු පශු වෛද්‍ය සංගමයත් ලෝක සත්ව ආරක්‍ෂණ පදනමත් දෙකෙන්ම පවසන්නේ මේ ක්‍රමය සත්ත්ව හිංසනයක්‌ බවයි. මේ ක්‍රමයෙන් සතෙකු මිය යන්නට විනාඩි හතක්‌ ගතවෙන බවත් ඒ කාලය තුළ ඒ සත්ත්වයාට තමන්ගේ මරණය පිළිබඳ හොඳින් දැනෙන බවත් ඔවුන් පවසනවා.." ඔහු පවසයි. "මට තේරෙනවා.. මේ පිටුපස ඇති න්‍යායන්ට අනුව නම් කියවෙන්නේ මෙය වඩාත් මානුෂීය ක්‍රමවේදයක්‌ බව තමයි. ඒත් කෙනෙකුගේ මරණ මංචකයේදී එය සිදුවන ආකාරය කෙසේ වේවිදැයි අපට කියන්නට බෑ. එක්‌සත් ජනපදයට තියෙන ප්‍රශ්නය තමයි කෙනෙකුට මානුෂීය අන්දමට මරණ දඬුවම ලබා දෙන්නේ කොහොමද කියන එක. ඒත් මරණ දඬුවම කියන්නේ මොනයම් ආකාරයකටවත් මානුෂීය ක්‍රියාවක්‌ නොවන බව මිනිසුන් තේරුම් ගත යුතුයි. මේ හැම ක්‍රමවේදයක්‌ ගැනම මට කියන්නට ඇත්තේ එපමණයි."

සමාජ මාධ්‍ය ඔස්සේ උපුටා ගැනීමකි





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu