අදානි - ජෝන් කීල්ස් හවුල්කාරීත්වයෙන් කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් නව සන්ධිස්ථානයක්

කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) දෙවන අදියර නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ, මෙරට සමුද්‍රීය සහ බහාලුම් හැසිරවීමේ ක්ෂේත්‍රයේ ඉතිහාසගත පිම්මක් පැන තිබේ.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සන්නාමයක් වන 'අදානි පෝර්ට්ස්' (Adani Ports), මෙරට දැවැන්තයෙකු වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී හවුල් ව්‍යාපෘතිය සඳහා කර ඇති සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 750ක් (රුපියල් බිලියන 225 ඉක්මවූ මුදලක්) ලෙස වාර්තා වේ.

නව අදියරේ මෙහෙයුම් ආරම්භ වීමත් සමඟම, පර්යන්තයේ වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව TEU මිලියන 1.6 සිට මිලියන 3.2 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ බහාලුම් මිලියන දෙකක සීමාව ඉක්මවා යෑමට හැකිවීමම, ජාත්‍යන්තර නැව් සමාගම් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය මර්ස්ථානය කෙරෙහි තබා ඇති ස්ථාවර විශ්වාසය මනාව තහවුරු කරයි. කෙසේ වෙතත්, කලාපීය සෙසු වරායන් ද අතිනූතන ස්වයංක්‍‍රීයකරණය සහ ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් පිවිසෙන පසුබිමක, හුදෙක් භූගෝලීය පිහිටීමේ වාසිය මත පමණක් ඉදිරියට යා නොහැකි බව විමසුම්කරුවන්ගේ අදහසයි.

කොළඹ වරායට ලැබී ඇති ස්වභාවික පිහිටීමේ වාසි උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, දිවයින පුරා විහිදුණු පුළුල් සැපයුම් දාමයක් (Logistics ecosystem) නිර්මාණය කිරීම වර්තමාන රජයේ මූලික අපේක්ෂාව වී ඇත.

මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දී ඇත්තේ, හුදෙක් බහාලුම් ධාරිතාව ඉහළ නැංවීම පමණක් රජයේ අවසාන අරමුණ නොවන බවත්, එය රටට විදේශ විනිමය ගෙන එන ඵලදායී ආර්ථික එන්ජීමක් බවට පත්කළ යුතු බවත්ය. ඒ අනුව, වරාය ආශ්‍රිත ප්‍රවාහන සේවා, ගබඩා පහසුකම් මෙන්ම අගය එකතුකිරීමේ කර්මාන්ත දියුණු කිරීම ජාතික මට්ටමේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන තිබේ.

කොළඹ වරාය හරහා හැසිරවෙන සමස්ත බහාලුම් ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ඉන්දියාව සමඟ සිදු කෙරෙන ප්‍රතිනැව්ගත කිරීම් (Transshipment) වීම මෙම හවුල්කාරිත්වයේ තවත් විශේෂ ලක්ෂණයකි.

ශ්‍රී ලංකාවේ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පෙන්වා දෙන පරිදි, ඉන්දියාවේ වාර්තාගත ආර්ථික වර්ධන වේගය ශ්‍රී ලංකාවට නව ආර්ථික අවස්ථා රැසක් උදා කර දීමට සමත් වී ඇත. කෙසේ වෙතත්, මෙවැනි විදේශීය හවුල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ විනිවිදභාවය සහ වාණිජමය තිරසාරභාවය ආරක්ෂා කරගනිමින්, රටේ ස්වෛරීභාවයට සහ ජාතික අවශ්‍යතාවලට මුල්තැන දීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව අවධාරණය කෙරේ.

මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය හරහා මෙරටට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ දේශීය වෘත්තිකයින්ට හිමිවන ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික අත්දැකීම් සහ පුහුණුවයි.

වර්තමානය වන විටත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් ඇතුළු දහසකට ආසන්න වෘත්තීයවේදීන් පිරිසක් මෙහි කළමනාකරණ හා තාක්ෂණික ක්ෂේත්‍රවල සෘජුවම නිරතව සිටිති. අතිනූතන ස්වයංක්‍රීය දොඹකර සහ ඩිජිටල් පාලන පද්ධති මෙහෙයවීම සඳහා දේශීය ශ්‍රම බලකාය ලබන මෙම ප්‍රායෝගික පුහුණුව, ඉදිරියේදී සමස්ත ශ්‍රී ලංකා සමුද්‍රීය ක්ෂේත්‍රයේම ගුණාත්මක වර්ධනයට මඟපාදනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu