අපේක්ෂා රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හිඟය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

 අපේක්ෂා රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හිඟය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා එම ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අමතමින් අපේක්ෂා රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හිඟය ගැන මේ වන විට සමාජයේ ඇතිව ඇති කතා බහට පිළිතුරු ලබා දී තිබෙනවා.

"අද මෙම මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන්ම පැවැත්වීමට අදහස් කළේ, අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ සැපයුම, නියාමනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාවක් නිර්මාණය වී තිබෙන නිසාය.

ඊයේ වන විට අපේ රටේ ජනමාධ්‍ය වාර්තා කළේ, අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට දානපතියන් කැමති නම්, එසේ පරිත්‍යාග කළ යුත්තේ වැඩි වශයෙන්ම ඖෂධ සහ ශල්‍ය උපකරණ බවට දැක්වෙන වාර්තා රෝහල මඟින් අදාළ දානපතියන්ට නිකුත් කර ඇති බවයි. අපේක්ෂා රෝහල අද වන විට එම වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කර තිබුණත්, මම පැහැදිලිව සඳහන් කරන්නේ අපේක්ෂා රෝහලෙන්, මා නියෝජනය කරන දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් වෙත එම දානපතියන් සමඟ සම්බන්ධ වීම භාර ඒකකය මඟින් මෙම සැප්තැම්බර් මස 22 වන දින පස්වරු 3.09 ට ලබාදුන් ලියකියවිලි පවතින බවයි. එහි ඉතා පැහැදිලිව සඳහන් වන්නේ රෝහලට මේ වෙලාවේ කෑම බීමවලට වඩා අවශ්‍ය වන්නේ ඖෂධ සහ ශල්‍ය උපකරණ බවයි.

ඒ වගේම, සැප්තැම්බර් 22 වන දින දානපතියන්ට නිකුත් කළ එම ලේඛනයේ ප්‍රධාන වශයෙන් ඖෂධ කාණ්ඩ 6 කට ආසන්න ප්‍රමාණයකුත්, පිළිකා රෝගීන්ගේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්මවලින් පසු මළ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා භාවිත කරන බෑග් හිඟයක් පවතින නිසා ඒවා අවශ්‍ය බවටත් දානපතියන්ට WhatsApp පණිවිඩ හරහා නිල වශයෙන් දන්වා තිබෙනවා.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා හෝ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම්, මහජනතාවට මෙම වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ඒකකය ගැන පරීක්ෂණයක් කළ යුතුයි. හැබැයි, මෙම වාර්තා නිකුත් කිරීම සම්බන්ධ අදාළ ලේඛන සහ හඬපට පරිත්‍යාගශීලී දානපතියන් සතුව තිබෙනවා.

ඒ නිසා, 'රුපියල් 70,000 ක බෙහෙතක් රුපියල් 300 කට ගෙන්න පුළුවන්' යැයි සෞඛ්‍ය ඇමති සහ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති නොමඟ යැවූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරුන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරුන් වැනි අය ලබා දෙන උපදෙස් මත සෞඛ්‍ය ඇමති සහ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ජනතාවත් සමඟ ගනුදෙනු කරන්නේ නම්, එය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ද කණගාටුදායක කරුණක් බව අපි කියන්න කැමතියි.

ඒ වගේම රිජ්වේ ළමා රෝහලේ නිල වෙබ් අඩවියෙත් එම රෝහලට අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ පිළිබඳව සඳහන් කරලා තියෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පරිත්‍යාග ලැයිස්තුව (Donation List) එම වෙබ් අඩවියේ තියෙනවා. (මාධ්‍ය හමුවේදී එම වෙබ් අඩවිය පෙන්වමින් වෛද්‍යවරයා පවසා සිටියේ, "එසේ පෙන්වන්නේ සෞඛ්‍ය ඇමතිවරයා එය අසත්‍ය වෙබ් අඩවියක් ලෙස පසුව පවසාවි යැයි" සඳහන් කරමිනි.) ඒකේ තියෙනවා පැහැදිලිවම පරිත්‍යාග කරන්න ඕන ඖෂධ මොනවද, ශල්‍ය උපකරණ මොනවද, රසායනික උපකරණ මොනවද කියලා.

මේ ලැයිස්තුවේ පහළට ගියාම පෙනෙන දෙයක් තමයි, ඖෂධ කාණ්ඩ 43ක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රදානයන් විදිහට පරිත්‍යාග කරන්න පුළුවන් කියලා. ඊළඟට ශල්‍ය උපකරණ සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය 61කට ආසන්න ප්‍රමාණයක් රිජ්වේ රෝහලට පරිත්‍යාග කරන්න පුළුවන් බව නිල වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. එසේම රිජ්වේ රෝහලට රසායනාගාර පරීක්ෂණ උපකරණ විදිහට උපකරණ කාණ්ඩ 25ක් පමණ පරිත්‍යාග කරන්න පුළුවන් බව එම වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

ප්‍රශ්නය තමයි, ලංකාවේ රාජ්‍ය සේවය ඇතුළේ ප්‍රසම්පාදන නීතිය අනුව යම්කිසි ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් හෝ කුමන හෝ අමුද්‍රව්‍යයක් රජය මඟින් නිසි පරිදි ප්‍රසම්පාදනය කරලා රෝහල්වලට අඛණ්ඩ සැපයුමක් තියෙනවා නම්, ඖෂධ සැපයුම් ජාලයේ ප්‍රශ්නයක් නැත්නම්, ශල්‍ය උපකරණ සැපයුම් ජාලය පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම්, මේ වගේ නිල වෙබ් අඩවිවල පරිත්‍යාග විදිහට ඒ ඖෂධ හෝ ශල්‍ය උපකරණ ඉල්ලන්න අදාළ වෛද්‍යවරුන්ට නෛතික හැකියාවක් නැහැ. ඒක පැහැදිලිවම දූෂණය කියන වරදට අයත් වනවා. රජය විසින් ඖෂධ සපයනකොට තවත් පරිත්‍යාග ඉල්ලනවා කියන්නේ අතිරික්තයක් ඇති වෙලා ඖෂධ කල් ඉකුත් වෙන්න පුළුවන්.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ් අඩවියේ දානපතියන්ට පරිත්‍යාග කළ හැකි දේවල් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. සෞඛ්‍ය ඇමතිට මේ වෙබ් අඩවිය බොරුවක් කියන්න බැහැ. හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වගේ නිල වෙබ් අඩවි පවත්වාගෙන යාම වෙනුවෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඩිජිටල්කරණය වෙනුවෙන් රුපියල් මිලියන ගණන් වාර්ෂිකව වියදම් කරනවා. මෙවැනි වෙබ් අඩවියක් බොරු නම්, මේ ඩිජිටල්කරණයට සම්බන්ධ නිලධාරීන්ව නීතිය හමුවට ගේන්න ඕනේ. වෙබ් අඩවියේ ඇති තොරතුරු සත්‍යයක් නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්න ඕනේ මේ රටේ ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයුම් ජාලයේ බරපතල ප්‍රශ්නයක් තිබෙන බව.

දානපතියන්ගෙන් මෙසේ ඖෂධ ආදී පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලන්නේ, රිජ්වේ රෝහලේ පරිපාලනයට දැනෙනවා ඇති ඒවා සපයන්න රජය අසමත් බව. සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න ඕනේ මේ වගේ සත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කර අඩුපාඩු සකස් කරනවා මිසක්, මෙම තොරතුරු වෙබ් අඩවිවලට නිකුත් කරන, දානපතියන්ට තොරතුරු ලබා දෙන නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කරන එක නෙමෙයි. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉඳලා ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගේ ඉඳලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩි ප්‍රමාණයක් හිටපු දූෂිත පරිපාලකයන් සමඟ, දේශපාලකයන් සමඟ ඍජු ගනුදෙනු පවත්වපු කණ්ඩායම්. ඒ අය තියාගෙන මේ සෞඛ්‍ය අංශය හදන්න බැහැ කියලා අපි දිගටම කිව්වා. දැන් ඒක යළි යළිත් තහවුරු වෙනවා.

රජයේ වගකීම ඉන්දියානු ඖෂධ වෙළඳපොළට මේ රට විවෘත කරලා, මේ රටේ පරීක්ෂණ මඟින් නිපදවූ ඖෂධ ඉවත් කරලා රටේ ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ දාන එක නෙමෙයි.

පසුගිය දිනවල අපි දැක්කා රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් ලේබලය නැතුව ඖෂධ ගෙනැවිත් ඒවා දැන් භාවිතා නොකර ඉන්නවා. ඒ ඖෂධ ගෙනාවේ කවුද? රාජ්‍ය ඖෂධ සංස්ථාවයි. ගේන්න අවශ්‍ය කරන රේගු නිෂ්කාශන ලබා දෙන්නේ කවුද? ඖෂධ නියාමන අධිකාරියයි. නියාමන අධිකාරියේ සභාපතිවරයා මාධ්‍යයට ඇවිල්ලා දිගින් දිගටම ඒ තොරතුරු වසන් කරලා ඖෂධ නියාමනය ගැන කතා කරනවා.

අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ, කරුණාකර නිලධාරීන් ගැන සීමාව ඉක්මවා විශ්වාසය තබන්න එපා. සත්‍ය කරුණු පෙන්වා දෙන වෘත්තීයවේදීන් සමඟ විවෘතව සාකච්ඡා කරන්න. මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ගැටළුවලට විසඳුම් ලබා දීමට ඉදිරිපියවර ගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu