අමාත්‍යංශ ලේකම්වරයා විසින් අදාළ සමාගම් වෙත ලිඛිතව මෙම නියෝග ලබා දීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවි කිරීම මඟින් පාඩු සිදුවන බව පවසමින් මෙරට තුළ ඉන්ධන බෙදාහැරීම් සිදුකරන සමාගම් සිය බෙදා හැරීමේ කටයුතු සීමා කර තිබෙනවා. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් හටගෙන ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික සමාගම් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සීමා කිරීම නතර කර, අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කළ යුතු බව බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කර ඇති අතර අදාළ සමාගම්වලට අවම තෙල් තොග පවත්වා ගන්නා ලෙස ද දැනුම් දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
පවතින ඉන්ධන ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) පිරවුම්හල් වෙත වැඩි ඉන්ධන ප්‍රමාණයක් බෙදා හැරීමට ද අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා පවසනවා.
මේ අතර, මෙම ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් හෙට (07) දිනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති අතර පවතින ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

