ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන 7.6ක් පාඩු ලැබීමට හේතු

පසුගිය 2023/2024 මුදල් වර්ෂය තුළ රුපියල් බිලියන 3.8ක ශුද්ධ ලාභයක් වාර්තා කරමින් යහපත් මූල්‍ය ප්‍රවණතාවක් පෙන්නුම් කළ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම, 2024/2025 මුදල් වර්ෂය අවසන් වන විට යළිත් අලාභදායී මට්ටමකට පත්ව තිබේ. ජාතික විගණන කාර්යාලයේ දත්ත සහ සමාගමේ නවතම වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව, මෙවර මුදල් වර්ෂයේදී සමාගම වාර්තා කර ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 7.6කි.

ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් මධ්‍යයේ වුවත් රුපියල් බිලියන 296.5ක ආදායමක් සටහන් කර ගැනීමට ශ්‍රීලංකන් සමාගම සමත් විය. එනමුත්, රටට පැමිණෙන සංචාරක ප්‍රවාහයේ වර්ධන ප්‍රවණතාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ගුවන් යානා හිඟය බාධාවක්ව ඇත. මේ නිසා මගී ප්‍රවාහනය සියයට 4කින් පසුබෑමකට ලක්ව ඇති අතර, එය ගුවන් මගී ආදායම සියයට 15කින් පහත වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

සමාගමේ මෙම මූල්‍ය පසුබෑම සඳහා ප්‍රධාන වශයෙන් තාක්ෂණික සහ මූල්‍යමය අභියෝග රැසක් බලපා තිබේ. සැලසුම් නොකළ ගුවන් යානා එන්ජින් අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 2.2ක අමතර වැයබරක් දැරීමට සිදුවීම මෙන්ම, ගෝලීය සැපයුම් දාම බිඳවැටීම නිසා අමතර කොටස් ලැබීම ප්‍රමාද වී ගුවන් යානා කිහිපයක්ම මෙහෙයුම්වලින් ඉවත් කර තැබීමද මීට හේතු විය. මීට අමතරව, පොලී සහ මූල්‍ය සේවා ගාස්තු ලෙස රුපියල් බිලියන 31.6ක දැවැන්ත මුදලක් ගෙවීමට සිදුවීම සහ පෙර වසරට සාපේක්ෂව විදේශ විනිමය වාසි සැලකිය යුතු ලෙස පහත වැටීමද මෙම අලාභයට සෘජුවම බලපා ඇත.

මෙම අර්බුදය හමුවේ ගුවන් ගමන් ජාලයේ අඛණ්ඩතාව රැකගනිමින් ජාත්‍යන්තර තරගකාරීත්වයට මුහුණ දීම ශ්‍රීලංකන් සමාගමට ඇති අභියෝගයයි. මෙහෙයුම් කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට සහ දැඩි පිරිවැය පාලන ක්‍රමවේද අනුගමනය කිරීමට වහා පියවර ගත යුතු බව ආර්ථික විශේෂඥයින්ගේ මතයයි.


කුමන බාධා මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර අහසේ අපේ ආඩම්බරය වන ජාතියේ ගමන් සහකරු රැකගැනීම රටේම ජනතාවගේ එකම පැතුමයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu