පලස්තීන ගැටළුවට ස්ථාවර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බලවත් හඬක්

පලස්තීන ගැටළුවට ස්ථාවර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බලවත් හඬක් - විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

1967ට පෙර පැවති දේශසීමා පදනම් කරගනිමින්, ඊශ්‍රායලය සමඟ සාමකාමීව සහ සහජීවනයෙන් පවතින ස්වාධීන හා ස්වෛරී පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට ශ්‍රී ලංකාව සිය දැඩි සහාය පළ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ (UNGA) සාමාන්‍ය විවාදය අමතමින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

ගාසා තීරයේ සහ අනෙකුත් අත්පත් කරගත් පලස්තීන ප්‍රදේශවල වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදී ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව පිළිගන්නා බවත්, සිවිල් වැසියන්ට කිසිදු බාධාවකින් තොරව හදිසි මානුෂීය ආධාර ලබා දීම සහ ගාසා තීරය කඩිනමින් යළි ගොඩනැඟීම අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවක් බවත් ඔහු අවධාරණය කළේය.

පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින බවත්, ද්වි-රාජ්‍ය විසඳුම (Two-State Solution) හරහා ස්වාධීන සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් බිහිවීම යුක්තිසහගත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගෝලීය ආරක්ෂක වටපිටාව ක්‍රමයෙන් පිරිහෙමින් පවතින වත්මන් පසුබිමක, රටවල් අතර මතභේද විසඳා ගැනීම සඳහා සාමූහික ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සහ ශක්තිමත් බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සැසිවාරයට සමගාමීව අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයන් කිහිප දෙනෙකුද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu