ශ්රී ලංකාවේ නව චීන තානාප වෙයි හුආෂියැන්ග් සහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ හමුවක් ඊයේ (09) කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වී ඇත.
පසුගිය අගෝස්තු 25 වන දින අක්තපත්ර භාරදීමෙන් පසු මෙරට චීන තානාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කළ වෙයි හුආෂියැන්ග් මහතා වෙත හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිය සුබපැතුම් එක් කළේය. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
හමුව අතරතුරදී චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු අර්ථය මූර්තිමත් කරන සාම්ප්රදායික චීන සිතුවම් ඇතුළත් විශේෂ ග්රන්ථයක් තානාපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී. දෙරට අතර මිත්රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය මෙහිදී ආවර්ජනය කළ හිටපු ජනාධිපතිවරයා, චීන රාජ්යය විසින් ශ්රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.
