ඉන්දියාව සහ පකිස්තානයා අතර යුධ ගැටුම් ඉතා උත්සන්න වෙමින් පවතිනවා.
දෙරට අතර මෙලෙස ගැටුම් ඇති වීමට හේතුව වූයේ 2025 අප්‍රේල් 22 වන දින, ඉන්දියාව පාලනය කරන ජම්මු සහ කාශ්මීර්හි අනන්තනාග් දිස්ත්‍රික්කයේ පිහිටි පහල්ගම් නගරයට ආසන්න බයිසාරන් තැන්නේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විමයි.
හමුදා වර්ණයෙන් යුත් ඇඳුම් පැළඳි, AK-47 සහ M4 වර්ගයේ ගිනි අවිවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් 5 දෙනෙකු බයිසාරන් තැන්නට ඇතුළු වී, සංචාරකයන්ට වෙඩි තබා ඝාතන සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙම ප්‍රහාරය සඳහා "The Resistance Front (TRF)" නම් සංවිධානය වගකීම භාරගත් අතර එය පකිස්තානයේ පදනම් වූ Lashkar-e-Taiba (LeT) සංවිධානයේ උපසංවිධානයක් ලෙස සැලකේ.
මෙමෙ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව විසින් පකිස්තානයට ප්‍රහාරයන් එල්ල කර අතර එයින් පුද්ගලයින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මෙයින් පසු ආරම්භ වූ ප්‍රහාරවලින් දෙරටින්ම පුද්ගල හානි සිදුව තිබෙන අතර තවමත් යුධ ගැටුම් ඇවිලෙමින් තිබෙනවා.
මේ වන විට බොහෝ ගුවන් සේවා පාකිස්ථාන සහ උතුරු ඉන්දියානු ගුවන් කලාපය භාවිත කිරීමද අත්හැර දමා ඇති අතර පාකිස්ථානයේ ලාහෝර්, කරච්චි සහ සියල්කොත් ගුවන් තොටුපළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටයි පාකිස්ථාන සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයද මේ වන විට පාකිස්ථානයේ ලාහෝර් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පකිස්තාන තොරතුරු අමාත්‍යවරයා පවසා ඇත්තේ පකිස්ථාන දේශසීමාවේදී පාකිස්ථානය "ඉන්දීය සොල්දාදුවන් 40-50ක්" මරා දමා ඇති බවයි.
ඉන්දියාවේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර ලෙස සික් ආගමික වන්දනාකරුවන් හැර, සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පකිස්ථානයේ සිටින ඉන්දියානු ජාතිකයින්ට රට හැර යාමට පකිස්ථානය පැය 48ක කාලයක් ලබා දී තිබුණා.
මේ අතර පකිස්ථානයේ නිශ්පාදිත සියලුම මාධ්‍ය අන්තර්ගතයන් වහාම ඉවත් කිරීමට ඉන්දියාවේ සියලු OTT (Over-The-Top) වේදිකා සහ ඩිජිටල් ස්ට්‍රීම් සේවා සපයන්නන්ට ඉන්දියාවේ තොරතුරු හා විකාශන අමාත්‍යාංශය විසින් නියෝග කර තිබෙනවා. ඒ ජාතික ආරක්ෂාවට අනතුරු උපදවිය හැකි අන්තර්ගතයන් හරහා පැමිණිය හැකි බලපෑම් වැළැක්වීමේ අරමුණින්.
එසේම ආරක්ෂක හේතූන් මත පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 08, එක්සත් ආරාබි එමීර් රාජ්‍ය වෙත මාරු කර තිබෙනවා. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද අඛණ්ඩව පවත්වනවාද යන්න පිළිබඳව අද (09) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
පංජාබ් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ධර්මසාලාහි ඊයේ (08)පැවති තරගය ද අතරමග නවතා දැමීමට සිදු වූයේ එහි විදුලිය බිද වැටීමකට ලක් වීම හේතුවෙන්.