2026 අවසන් කාර්තුවේ විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට PUCSL යෝජනාවක්

2026 වසරේ අවසාන ත්‍රෛමාසිකය (4 වන කාර්තුව) සඳහා විදුලි ගාස්තු සියයට 1.46 කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මූලික වශයෙන් තීරණය කර ඇත.

ආරම්භයේදී ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් යෝජනා කර තිබුණේ ගාස්තු 2.88% කින් ඉහළ නංවන ලෙසයි. එම ත්‍රෛමාසිකයේ විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3 ක් ලෙසත්, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 154 ක් ලෙසත් පෙන්වා දුන් NSO ආයතනය, ඇති වන රුපියල් බිලියන 4.4 ක ආදායම් හිඟය පියවා ගැනීමට මෙම ගාස්තු වැඩිවීම ඉල්ලා තිබුණි.

නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදු කළ මූලික අධ්‍යයනයේදී පහත කරුණු සැලකිල්ලට ගනිමින් එම ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 1.46% දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ:

ගල්අඟුරු බලාගාර ධාරිතා පිරිවැය: ඉහළ ගිය ධාරිතා පිරිවැයට අදාළ ගණනය කිරීම් ඉවත් කිරීම.

බාල ගල්අඟුරු පිරිවැය නැවත සමාලෝචනය: 2026 දෙවන කාර්තුවේදී ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා සිදුවූ අමතර පිරිවැය නැවත සලකා බැලීම.

මීට අමතරව, ඉදිරි විදුලි ඉල්ලුම, ඉන්ධන මිල ගණන්, ජල විදුලි හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය, බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල (BESS) පිරිවැය මෙන්ම විදුලි බෙදාහැරීමේ සමාගම ඉදිරිපත් කළ අතිරේක වියදම් ද මෙම සමාලෝචනයට පදනම් කරගෙන ඇත.

විදුලි නිෂ්පාදන පුරෝකථනය (4 වන කාර්තුව)

NSO හි පුරෝකථනයන්ට අනුව මෙම කාර්තුවේ සමස්ත විදුලි ඉල්ලුම ගිගාවොට් පැය (GWh) 4,796 කි. එම ඉල්ලුම සපයා ගැනීමට අපේක්ෂිත බලශක්ති ප්‍රභවයන් පහත පරිදි වේ:

ප්‍රධාන ජල විදුලිය: 32.34%

වෙනත් පුනර්ජනනීය බලශක්ති: 28.81%

ගල්අඟුරු බලශක්තිය: 25.68%

මෙම යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට PUCSL මහජන උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන පාර්ශ්වයන්ට 0770399119 අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu