ඉන්දු- පාකිස්තාන ගැ‍ටුම් යළි ඇවිලෙන ලකුණු ? පකිස්තානයට ඉන්දියාවෙන් ප්‍රහාරයක් ගැන තොරතුරු

කාශ්මීරයේ දී සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසුගියදා පුද්ගලයින් 26 දෙනෙකු මිය ගියා. 

මේ හේතුවෙන් ඉන්දු පකිස්තාන ගැ‍ටුම් උත්සන්න වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාශ්මීරයේ සටන්කාමීන්ට පකිස්තානය සහාය දෙන බවට ඉන්දියාව චෝදනා කරනවා. 

මෙම චෝදනා හමුවේ පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත්තේ අසල්වැසි ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බවයි. එසේම ඒ සඳහා සිය හමුදා ශක්තිමත් කර ඇති බවත් ඇතැම් තත්ත්වයන් තුල උපායමාර්ගික තීරණ ගත යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

එසේම මේ වන විට ඉන්දියානු ප්‍රහාරයක් සිදුවීමේ හැකියාව පිළිබඳව පාකිස්තාන හමුදාව රජයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. තම රටේ පැවැත්මට තර්ජනයක් වේනම් පමණක් තම න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සාකච්ඡාවේ දී පවසා තිබෙනවා. 

මේ අතර පකිස්ථාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා ටාර් පවසා ඇත්තේ ඉදිරි පැය 24ත් 36ත් අතර කාලය තුළ ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. එවැනි ඕනෑම මිලිටරි ක්‍රියාමාර්ගයකට නිසැකවම පාකිස්ථානය ප්‍රතිචාර දක්වන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත් සිං, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ ඊයේ (29) දිනයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu