gossiplanka alexa ලිපිකාරයකුගේ පුතා ඉන්දියාවේ ලොකුම සල්ලිකාරයා වු​​ණේ මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලිපිකාරයකුගේ පුතා ඉන්දියාවේ ලොකුම සල්ලිකාරයා වු​​ණේ මෙහෙමයි

“රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම බිහි කළ අම්බානිලාගේ කථාව”
ලෝකයේම 13 වැනි ධනපතියා ඔහු යැයි ​ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි. ඔහු අන් කවරකුවත් නොවේ, අපේ අල්ලපු රටේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ ප්‍රධානී මුකේෂ් අම්බානිය.

තාත්තා, ජීවිතය පටන්ගෙන තියෙන්නෙ ලිපිකරුවකු ලෙසය. 1970 දී අම්බානි පවුල ජීවත් වෙලා තියෙන්නෙ මුම්බායිහි සාමාන්‍ය මහල් නිවාසයක. එහි තිබී ඇත්තේ කාමර දෙකකි.


ආසියාවේ ධනවත්ම ව්‍යාපාර ජාලය වන්නේ අසල්වැසි ඉන්දියාවේ රිලයන්ස් සමාගම යැයි සඳහන් වේ. එය ආසියාවේ පො​හොසත්ම සමාගම් අතරින් එකක් වන අතර ආසියාවේ අංක එකේ ධනවතකු මෙන්ම ලෝකයේ ධනවතුන් අතර සිටින 13 වැනි ලෝක ධනවතා වන්නේ මෙම රිලයන්ස් අධිපති වන මුකේෂ් අම්බානි ය.

ක්‍රීඩා ලෝලීන් හට නම් මෙම මුකේෂ් අම්බානි ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේ, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සතු මුකේෂ් අම්බානි සහ ඔහුගේ බිරිඳ නීටා අම්බානි ය.

ආසියාවේ ධනවත්ම යුවළ ලෙස මෙම මුකේෂ් සහ නීටා අම්බානි යුවළ සඳහන් කළ හැකි වේ. ඔවුන් කෙතරම් නම් ධනවතුන් ද යත් ඔවුනගේ ජීවන රටාවට අනුව, ගත් කල ඔවුන් හමුවීමට විනාඩියක කාලයක්වත් ලබා ගත නොහැකි තරම් ය.

අමුත්තකු හට බොහෝ විට මේ මුකේෂ් එක්ක කතා කිරීමට ලැබෙන්නේ, හලෝ, හායි, කොහොමද, ඔය වගේ කෙටි වචන දෙක තුනක් පමණි. 

ලෝකය පාලනය කරන බලවතකුට වඩා කාර්යබහුල ජීවන රටාවක් මුකේෂ් අම්බානි අද මෙලෙසින් ගත කළ ද දශක කීපයකට පෙර දී නම්, මේ අම්බානි ගත කර ඇත්තේ සාමාන්‍ය ජීවිතයකි.

ඇත්තටම ​දෛවය යනු කුමක් ද? ජීවිතය යනු කුමක් ද? විටෙක ඒ ගැන සිතීම පවා හරි පුදුමසහගත දෙයකි. 

දශක කීපයකට පෙරදී, සාමාන්‍ය පවුලකට අයත් වූ මුකේෂ් අම්බානි ලෝක ධනවතකු බවට පත්වූයේ කෙසේද? ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ ඉන්දියාවේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරය සහ එහි වත්මන් නියමුවා වන මුකේෂ් අම්බානි සාර්ථකත්වය කරා පැමිණි ගමන ගැන වූ කතාවය. 


ධීරුබායි අම්බානි 

රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම් ජාලයේ මුල් පුරුක වන්නේ ධීරුබායි අම්බානි ය. එනම්, මුකේෂ් අම්බානිගේ පියා ය. රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ව්‍යාපාර ජාලය බිහි කිරීමට පෙර මෙම ධීරුබායි කළේ කුමක් ද කියා මුලින්ම අප සොයා බලමු.

ගමේ පාසලේ ගුරුවරයකු ලෙස සේවය කළ හිරාචන්ද්ගේ පුත්‍රයකු වූ ධීරුබායි උපන්නේ ගුජරාටයේ ය. පාසල් සමයේ සිට එක්තරා විදියක විප්ලවකාරී චරිතයක් බවට පත්ව සිටියේය. 

පාසල් අධ්‍යාපන කටයුතුවලින් පසුව තම සහෝදරයා වූ රම්නික්බායි සමග රස්සාවක් කිරීම වෙනුවෙන් ඔවුහු ඒඩන් වරාය වෙත ගියෝය. එහිදී සමාගමක සේවය සඳහා එක්වූ අතර ධීරුබායි පැය අටේ සේවයට පමණක් සීමා නොවී අලුත් යමක් කිරීමට නිතර උත්සාහ ගත්තේය.

එහි ඵලයක් ලෙස ඔහු සේවය කළ සමාගම වෙත තෙල් නිෂ්පාදන අලෙවි කිරීමේ කටයුත්තකට අත ගැසීය. උපතින්ම ගෙන ආ ශූර ව්‍යාපාරික ඥානයක් ඔහු සතුවිණි. 

ජීවිතය ගැන ධීරුබායි හට තිබුණේ හොඳ දැකීමකි. එමෙන්ම යමක් කිරීමේදී මෙන්ම තීන්දු - තීරණ ගැනීමේ දී දැඩි ආත්ම ශක්තියක් තිබූ අයෙකු විය. නොඑසේ නම් එදා 1950 දශකය ආරම්භයේ දී බෙස්සී (බෙස්) සමාගමේ ලිපිකරුවකු ලෙස සේවයට එක්වී ආ ගමන මේ තරම් දුර ආ ගමනක් නොවන්නට ඉඩ තිබිණි.

මිනිසකු සතු ආත්ම ශක්තිය සහ දැක්ම යනු විශිෂ්ට ගමනක අත්තිවාරමට පාර කපන්නකි. 1958 දක්වා පුද්ගලික සමාගමේ සේවය කළ ධීරුබායි ඒ ආත්ම විශ්වාසය ඇතිව තමාගේම ගමනක් යාමට මුලපිරීය. 

‘‘මම ඉන්දියාවට ගිහිල්ලා ටෙක්ස්ටයිල් (රෙදිපිළි) අංශයේ ව්‍යාපාරයක් කළොත් හොඳ යැයි’’ ඔහු අදිටන් කරගෙන සිටියේය. ඒ හැරත් ඉන්දීය භූමියේ ඒ සඳහා වූ හොඳ රික්තයක් නිර්මාණය වී තිබිණ. ධීරුබායි ඒඩන් නගරයේ දිගටම රැඳී සිටියේ නම්, ඒ දිගු ගමන ඒමට කිසිදාක ඔහුට හැකි වන්නේ නැත.

ඒඩන් යනු එදා යේමනයේ ස්ථාපිතව තිබූ ප්‍රකට වරායකි. මෙම වරාය නගරයේ නොසිට මහා භාරතයට ගොස් තමාගේ රෙදිපිළි ව්‍යාපාරය ආරම්භ කිරීම වෙතින් දිගු ගමනක් යා හැකි බව ධීරුබායි ඉඳුරා දැන සිටි කරුණක්ම විය. ඒ තරමටම වූ තියුණු දැක්මක් මේ ධීරුබායි හට තිබූ බව කිව හැකිය. 

රෙදිපිළි වෙළෙඳාමට අවතීර්ණ වීම   

ධීරුබායි අම්බානි එලෙසින් යේමනයේ සිට ඉන්දියාවට පැමිණ, යේමනයේ දී ඔහු සමග ජීවත්වූ දෙවැනි ඥාති සහෝදරයා හා එක්ව මේජින් නමින් ස්වකීය ව්‍යාපාරය ඇරඹි අතර ​පොලියස්ටර් නූල් ආනයනය කිරීම මෙන්ම කුළුබඩු යේමනය වෙත අපනයනය කිරීම ද එම ව්‍යාපාරයේ ස්වභාවය විය.

ටිකෙන් - ටික අඩියෙන් අඩිය එලෙසින් හිස ඔසවමින් ගමනක් ආ ධීරුබායි අම්බානි, ඔහුගේ පෙර කී ඥාති සහෝදරයා වූ චම්බක්ලාල් දමානි සමග එක්ව රිලයන්ස් කොමර්ෂල් කෝපරේෂන් නමින් සම දායකත්වය යටතේ රිලයන්ස් ව්‍යාපාරය ඇරඹීය. 

‘‘හවුලේ කැඳත් එපා’’ යැයි කියමනක් තිබේ.

එය කොයි හැටි වෙතත්. 1965 පමණ වෙද්දී, සූර - වීර, ධීරුබායි හවුල්කාරිත්වය අතැර වෙනමම ගමනක් යාමට පටන් ගත්තේය. ඒ ගමන නතර වූයේ මහාරාෂ්ට්‍රයේ දී 1966 වසර ඇතුළත රිලයන්ස් රෙදිපිළි ඉංජිනියරින් පුද්ගලික සමාගම ස්ථාපිත කරවීමෙනි. එම වසරේ දීම ගුජරාටයේ දී තවත් රෙදිපිළි කම්හලක් ස්ථාපිත කිරීමට ඔහුට හැකි විය.

මෙලෙසින් ගමනක් එමින් සිටිය දී මේ ධීරුබායි අම්බානි සහ බිරිඳ කෝකිලාබෙන් අම්බානි මෙන්ම දරුවන් වූ මුකේෂ්, අනිල්, දීප්ති සහ නීනා ජීවත් වූයේ, මුම්බායි (බොම්බෙ) වලට නුදුරින් වූ බුලේෂ්වර්හි කාමර දෙකකින් සමන්විත මහල් නිවසක යැයි සඳහන් වේ. 

1973 වෙන විට නව පරිච්ඡේදයකට මුල පිරූ ධීරුබායි හට රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් බිහි කිරීමට හැකිවිය. ‘‘විමල්’’ නාමය එහි ප්‍රධාන සලකුණ බවට පත්වූ අතර, 77 වසර වෙනවිට මෙම සමාගමේ කොටස් මහජනතාවට ලබා ගැනීමට හැකි පරිදි නිකුත් විය. එය ගෙන දුන්නේ අතිශය ඵලදායීතාවයකි.

1979 වෙද්දී සිද්පූර් සමාගම හා ඒකාබද්ධ වී ගමනක් ආ රිලයන්ස්, භාරතය පුරා තව තවත් ව්‍යාප්ත වී දිගු සහ සමූහ දාමයකට මුල පිරීය. එතැන් සිට විවිධ ක්ෂේත්‍රවලට අනුගත වෙමින්, ‘‘රිලයන්ස්’’ සමාගම 2002 දක්වා ආ ගමන මහා පුදුමාකාර වුවකි. එය අප මවිත කරවන්නකි. 

අප විශ්වාස කරන විදියට, මේ අම්බානි පවුල යනු අත තබන සියල්ල සාර්ථක වෙන තරමේ වාසනාවක් උපතින්ම ගෙන ආ පවුලකැයි සඳහන් කිරීම වඩා උචිතය. ‘‘2002‘‘ යනු අම්බානි ව්‍යාපාර ජාලයේ මහ පුරුක හෙවත් ආරම්භකයා වූ ධීරුබායි අම්බානිගේ අභාවය සිදුවූ වසරය. විටින් විට හෘදයාබාධයන්ට ලක්ව දෙවතාවක්ම මරණයෙන් බේරීමට ඔහුට හැකි වුව ද දෙවැනි වරට ඇතිවූ ආඝාතයේ දී එක් අංශයක් අඩපණ විය.

ඉන්දියාවේ විශිෂ්ටතම වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගත්ත ද, අවසන ධීරුබායි ජීවිත ගමනට සමුදුන්නේ, මහා සාගරයක් තරමට ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කරවමින්ය. පසු කලෙක (2016 දී) භාරත මාතාවගෙන් පිදෙන ඉහළම ගරු නම්බුනාමයක් වන පද්ම විභූෂන් සම්මානය ඔහුගේ නාමයට පිරිනැමීය. 

 අම්බානි, සචින් සහ අමිතාබ් සමග 

මුකේෂ් අම්බානිගේ අවතීර්ණ වීම   

මුකේෂ් අම්බානිගේ අවතීර්ණ වීම සිදුවූයේ අසූව දශකයේ මුල් භාගයේදීමය. කෙසේ වෙතත්. ඔහු රිලයන්ස්හි සභාපතිත්වයට පත්වූයේ පියාගේ මරණයෙන් පසුවය. පියා මිය ගියේ පවුලේ සහෝදරයන් සමග වූ යම් යම් සිද්ධි සම්බන්ධයෙන් හටගත් ශෝකය වාවා ගත නොහැකි වූ නිසා යැයි සඳහන් කිරීම ද කළ යුතුය.

ධීරුබායිගේ මව - පියා මෙන්ම ධීරුබායි ද ඉතා ගුණයහපත්කම තිබූ මිනිසුන්ය. එහෙත් පවුලේ අනෙක් අය වෙතින් ඒ ස්වභාවය දක්නට නොලැබිණි. ව්‍යාපාරික ආරවුල් අතරේ ඔවුනට නඩු හබ කීමට ද සිදුවිය. පෙර කී පරිදි අම්බානි පවුල අත තබන දේ දියුණුවෙන් දියුණුවට පත්වුවද, ඒ දියුණුව යටින් ඇතුළාන්තයෙහි නේක විද ප්‍රශ්න - ගැටලු නොතිබුණා ද නොවේ. 

මුකේෂ් අම්බානි උපත ලැබුවේ යේමනයේ දීය. එවකට ඔහුගේ පියා එහි වාසය කළ බැව් මේ සටහන මුලදී අපි සඳහන් කළෙමු. මුම්බායිහි හිල් ග්‍රාස් උසස් පාසලෙන් ඔහු මෙන්ම ඔහුගේ බාල සො​හොයුරා වන අනිල් අම්බානි සිප් - සතර හදාළේය. උසස් අධ්‍යාපනය සඳහා මතුන්ගා ආයතනයට ගිය අතර ඉංජිනේරු අංශයේ උපාධියක් සහ ඉංජිනේරු රසායන අංශයේ උපාධියක් ද ලබා ගත්තේය.

එතැනින් ද නොනැවතී ලෝ ප්‍රකට ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවිය වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව වූ උපාධිය වෙනුවෙන් ඇමෙරිකාවට ගොස් සිටියේය.

කෙසේ වෙතත් ඒ අතරතුරේ මුකේෂ්ට වහාම ඉන්දියාව බලා ඒමට සිදුවූයේ පියාගේ අසනීප තත්ත්වය හේතුවෙනි. පියාගේ අභාවයට පෙර සිටම රිලයන්ස් විවිධ මාවත් ඔස්සේ - මහා පරිමාණ ව්‍යාපාර ජාලයක් බවට පත් කරවීමට මුකේෂ් ලබා දුන්නේ සුවිශාල දායකත්වයකි.

ඔහුගේ නායකත්වය යටතේ ඛණිජ​ තෙල් පිරිපහදු, ගෑස්, රසායන ද්‍රව්‍ය නිෂ්පාදන අංශ මෙන්ම පෙර සඳහන් කළ ජාම්නගර්හි ස්ථාපිත කළ තෙල් පිරිපහදු කර්මාන්තශාලාව ඉන්දියාවේ පමණක් නොව, ලොව විශාලතම තෙල් පිරිපහදු ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළේ මේ මුකේෂ් අම්බානිය.

රිලයන්ස් පෙට්‍රෝ කෙමිකල් අංශය ලාබ පිට ලාබ ලැබූ අංශයක් කරවීමට ඔහු සමත් විණි. තවත් විදිහකට කිවහොත්, මේ මුකේෂ් අම්බානි යනු ඉන්දීය භූමියේ සැඟව තිබූ සම්පත් මතු පිටට ගැනීමට සමත්වූ චරිතයකි. ජියෝ මොබයිල්, සිම් මේ අාදී සකල විධ ව්‍යාපාර අංශවලින් රිලයන්ස් සන්නද්ධ කරවූයේ ධන උල්පත් මවමිනි.

 අයියා - මලෝ අර්බුද සහ නඩු - හබ 

මු​කේෂ් අම්බානිගේ බාල සො​හොයුරා වන්නේ, අනිල් අම්බානි ය. ඔහු ද ධන කුවේරයෙකි. රිලයන්ස් ගෲප් හි මුල් පුරුක වන්නේ ඔහුය. 2006 දී එය ඇරඹීය. උපාධිධරයකු වුවද, ව්‍යාපාර ස්වභාවයේ දී විටෙක ඩොලර් මිලියන ගණනින් පාඩු කර ගත්තෙකි. රේඩියෝ එෆ්.එම්. - චැනල ගණනාවක හිමිකරු මෙන්ම විනෝදාස්වාදය සඳහා වූ අංශවලට ආයෝජනය කර ඇත.

ලෝ ප්‍රකට ස්ටීවන් ස්පීල්බර්ග් සමග එක්ව චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් පවා පවත්වාගෙන යයි. ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ ලින්කන් චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදන කටයුතු සඳහා අනිල් සතු ඩ්‍රීම් වර්ක්ස් ආයතනය ද දායකත්වය සපයා තිබේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලෝක මට්ටමේ ගනුදෙනුවල දී අනිල්ගේ සමාගම් වෙත රජයේ චෝදනා ද එල්ල වූ අවස්ථා තිබේ.

ලාභ ඉපයීමට තරමක් අපොහොසත් වූ චරිතයක් ලෙස වාර්තා පෙන්වා දෙනු ලබයි. ඒ කෙසේ වෙතත් අනිල් අම්බානි යනු ඉන්දියාවේ සිටින තවත් මහා ධනවතෙකි. 

අයියා - මලෝ අතර විටෙක වසර දෙක තුනක් තිස්සේ මතභේද වූවා යැයි මාධ්‍ය වාර්තා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍යයේ නිරන්තර උකුසු ඇස යොමු වී තිබිණි. අනිල් සහ මුකේෂ් අයියා මලෝ කොහොමටත් ව්‍යාපාර ස්වභාවයේ දී තම තමුන්ගේම ව්‍යාපාරවල නියැලෙන අතර, එහිදී දෙදෙනා ක්‍රියා කරන අයුරු අහසට - පොළව මෙනි.

අයියා - මලෝ අතර යම් යම් මතභේදාත්මක යැයි වාර්තා පෙන්වා දුන් සිදුවීම්වලින් පසුව මුකේෂ් අම්බානි හට එක්තරා අවස්ථාවක ගෑස් නිෂ්පාදන අංශයේ දී සිදුවූ මූල්‍ය කටයුතුවල දී අපේක්ෂිත හිඟය පියවීමට ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව තිබිණි.

එහිදී ඉන්දීය රජය මුකේෂ් හට මූල්‍ය ප්‍රතිපාදන පහසුකම් සලසා දී තිබේ. හැබැයි මෙම ඉන්ධන මෙන්ම ස්වභාවික ගෑස් නිෂ්පාදනයේ දී විවිධ අක්‍රමිකතා කළේ යැයි, මුකේෂ්ට එරෙහිව දේශපාලන මෙන්ම විවිධ ක්ෂේත්‍ර වෙතින් සහ මාධ්‍ය වෙතින් චෝදනා එල්ලවූ බව ද වාර්තා වේ.

මුදල් මෙන්ම ඵල ඇති තැන දේශපාලනය ගෑවී ඇති බව දකුණු ආසියානුවන්හට අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. විවිධ දේශපාලකයින් මුකේෂ් හට උදව් - උපකාර කරද්දි, විවිධ දේශපාලන අංශ වෙතින් ඒ හා සමානව චෝදනා එල්ල වූ බව ද වාර්තාවල සඳහන් වෙයි. මෙලෙසින් කරුණු සිදුවුව ද මුකේෂ් අම්බානි යනු ශූර දැක්මක් ඇති මහා ව්‍යවසායකයකු වන බව බොහෝ දෙනාගේ අදහසය. 

මුකේෂ් අම්බානිගේ පුද්ගලික ජීවිතය   

ස්වකීය ව්‍යාපාර ජාලයේ රාජකාරිවලට අමතරව, මුකේෂ් අම්බානි ව්‍යාපාරික අංශයට අයත් ආයතන ගණනාවක සභාපති තනතුරේ සිට විවිධ තනතුරු හොබවයි. මේ සියල්ල අතරේ ඔහු තම පවුලේ උදවිය සමග කාලය ගත කිරීමට ද බෙහෙවින් කැමැත්තක් දක්වන චරිතයකි. එනම් දරු - මල්ලෝ සමග කාලය ගත කිරීමට බෙහෙවින් කැමැත්තක් දක්වයි.

1985 වස​රේ දී ඔහු විවාහ වූයේ නීටා දලාල් (විවාහයට පෙර) සමගය. විවාහයෙන් පසුව ඇයගේ නාමය වන්නේ නීටා මුකේෂ් අම්බානි ය. ඇය පැවත එන්නේ ඉතා සාමාන්‍ය පවුලකට අයත්ව ය. ඇයගේ නැගණිය මෙන්ම ඇය ද, ගුරු වෘත්තියේ නියැලී සිටි අතර, පසුව නීටා එම වෘත්තියට සමුදුන්නේ මුකේෂ් අම්බානි සමග විවාහ වී වසර දෙක තුනකට පසුව ය.

වාණිජ හා ආර්ථික අංශයේ උපාධිධාරිනියක දක්වා උගත් ඇය භරත නාට්‍යම් නර්තන ශිල්පිනියකි. මුකේෂ් හමුවී ඇත්තේ ද ප්‍රසංගයක දී ය. ඇයගේ නර්තන විලාසය දැක මුකේෂ් ඇය කෙරෙහි වසඟ වූ බව කිව හැකි ය. ඔහුගේ තේරීම වඩාත් නිවැරැදි බව කිව යුතුම ය.

නීටා අම්බානි වචනයේ පරිසමාප්ත අයුරින් හොඳ බිරිඳක වන්නීය. මුකේෂ් අම්බානි ඇයට දක්වන ආදරය කෙතරම් ද යත්, එය මිල කළ නොහැකි වූවකි. 1963 දී උපන්න නීටා ඇයගේ 44 වැනි උපන් දිනය සැමරුවේ 2007 වසරේ දී ය. එදා මුකේෂ් තම ආදරණීය බිරිඳ වෙනුවෙන් අපූරු තෑග්ගක් පුද කරමින් ඇය මවිතයට පත් කර වීය. 

ඩොලර් මිලියන 60 ක් වටිනා ගුවන් යානයක් බිරිඳගේ 44 වැනි උපන් දිනයට 

එයාර් බස් A - 319 නම් වූ අති සුඛෝපභෝගී ගුවන් යානය, බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් ඇයට ලබාදීම වෙතින් මේ මුකේෂ් අම්බානි ඇයහට කොච්චර නම් ආදරේ ද යන වග මැන ගත හැකි ය.

මගීන් 180 දෙනෙකුට යා හැකි එම සුපිරි ගුවන් යානයෙහි සියලු සුපිරි පහසුකම්වලින් සමන්විත නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, අන්තර්ජාල පහසුකම්, ලොව මිල අධික වයින් සහ විවිධ පානවලින් සමන්විත බාර් එකක්, ජාකුසි (නාන තටාකයක්) සහ කාර්යාලයකට ඉඩකඩ වෙන්කර තිබීම විශේෂිත වූවකි. 

බිරිඳට අහස තරම් විශාල - අගනා - වටිනා ත්‍යාගයක් අරන් දුන්, මුකේෂ් අම්බානි සිය දරු පවුල සමග දිවි ගෙවන්නේ මුම්බායි නුවර ඇති අති සුපිරි නිමාවකින් යුතු මන්දිරයක ය. මේ මන්දිරය ගැන කිව යුතුම වේ.

මක්නිසාද යත් ඒ ගැන කීමට ද බොහෝ කරුණු ඇති නිසා ය. එය නම් කර ඇත්තේ ‘‘ඇන්ටිලියා’’ නමිනි. 

ඇන්ටිලියා ලොව මිල අධිකම මන්දිරය 
මුකේෂ් අම්බානි ඇතුළු පවුල ජීවත්වෙන සුපිරි මන්දිරය මහල් 27 කින් සමන්විතය. එය නම් කර ඇත්තේ ඇන්ටිලියා නමිනි. 15 වැනි සියවසෙහි ගවේෂණාත්මක යුගයේ දී බටහිර අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපතක නම හැඳින්වූයේ ඇන්ටිලියා නමිනි. එය සයිබීරියානු පුරාවෘත්තයකට අනුව සිදුවූවකි.

සියලු සැප සම්පත්වලින් සමන්විත සිහින දූපතක් ලෙස හැඳින්වීම කළ හැකි ය. මේ ඇන්ටිලියා යනු සැබැවින්ම සාමාන්‍ය මිනිසකු හට සිහිනයක්ම පමණකි. එය ඒ තරමටම මහා විශාල ධනයක් වැය කොට තැනූ මන්දිරයකි.

දකුණු මුම්බායිහි ඇල්ටා මවුන්ට් හි තනා ඇති මේ මන්දිරය තැනීම වෙනුවෙන් ඩොලර් බිලියනයක මුදලක් වැය කර තිබේ. හෙලිකොප්ටර් තුනක්, ගොඩබෑමට හැකි ස්ථාන මෙන්ම රථ දෙසීයකට ආසන්න ප්‍රමාණයක් නවතා තැබිය හැකි විශාල ඉඩක්, ආකාශ උයන, (ඉතා උස් තැනක තැනූ) දහසකට පමණ ඉඩ පහසුකම් ඇති සුපිරි සම්භාෂණ ශාලාවක්, ආසන 80 කින් පමණ සමන්විත සුපිරි සිනමා ශාලාවක්, (මුකේෂ් අම්බානි දැඩි සිනමා රසිකයෙකි.

සමහර දිනවල සතියකට චිත්‍රපට තුනක් පමණ නැරඹීමට තරම් රිසි බවක් දක්වන්නෙකි) ස්පා (සම්බාහන) ස්ථානයක් ඇතුළු බොහෝ පහසුකම්වලින් මෙන්ම වැඳුම් - පිදුම් කිරීම සඳහා පංසලක් වැනි ස්ථානයක් ද මෙම ‘‘ඇන්ටිලියා’’ මන්දිරය සතු ය. බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගයට පසුව වටිනාකම අතින් ලොව දෙවැනි වටිනාම නේවාසික දේපොළ ලෙස සඳහන් වන්නේ මෙම ඇන්ටිලියා මන්දිර පරිශ්‍රයයි. 

 අම්බානි, ෂාරුක් ඛාන් සමග

විවේචන 

මුකේෂ් අම්බානි සහ බිරිඳ නීටා, පුතුන් දෙදෙනා වන ආනන්ත්, ආකාශ් සහ දියණිය වන ඊෂා වෙනුවෙන් තැනූ මෙම මන්දිරයෙහි පදිංචියට මේ අය පැමිණියේ 2012 වසරේ දීය. කෙසේ වෙතත් මෙය මුම්බායිහි මෙවැනි ස්ථානයක මේ ලෙසින් තැනීම නිසා, විවිධ විවේචනවලට ලක්වීම ද සිදුවිය.

තනි පවුලකට මෙතරම් විශාල ඉඩකඩක් කුමට ද යන්න මෙන්ම හෙලිකොප්ටර වැනි දේ ගොඩබෑම නිසා අවට පරිසරයට ඇතිවිය හැකි අනතුරු මෙන්ම, රථවාහන අංගනය ගැන ද කරුණු මුල්කරගෙන මුකේෂ් පවුලට දැඩි විවේචන එල්ල විය.

ඒත් ඒවා විටෙක ඊර්ෂ්‍යාව දරාගත නොහැකිව සමාජය විසින් නිර්මාණය කළ දේ යැයි සමහරු කීහ. 

ලොව පොහොසත්ම ක්‍රීඩා කණ්ඩායමේ අයිතිය සතුවීම   
ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් අතරින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තමාගේ සහ බිරිඳගේ හිමිකාරිත්වයට ගත් පසු මුකේෂ් පවසා සිටියේ ‘‘ලොව ධනවත්ම ක්‍රීඩා කණ්ඩායමේ හිමිකරුවා මම’’ කියාය.

සැබැවින්ම එය සත්‍යයකි. ලංකාවට එය වැදගත් වෙන්නේ, මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අපේ මහේල ජයවර්ධන වීම සහ ලසිත් මාලිංග අඛණ්ඩව එම කණ්ඩායම නියෝජනය කිරීම නිසාය. 

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අම්බානි සහ ඔහුගේ බිරිද හමුවූ මොහොතක්

නිර්මාංශවීම සහ මධ්‍යසාරවලින් තොර වීම 

මේ ලෝක ධනවතා මෙතරම් ධනස්කන්ධයක් තිබිය දී අනුගමනය කරන්නේ ධාර්මික ජීවිතයකැයි බොහෝ දෙනා ප්‍රකාශ කරති. ඔහු සම්පූර්ණයෙන් ම මස් - මාංශ අනුභවයෙන් තොර වූවෙකි. එමෙන්ම මධ්‍යසාර කටේවත් තියන්නේ​ නැත. බිරිඳ නීටා ගැන ද යමක් කිව යුතුමය. ඇය මහා දානපතිනියකි.

එමෙන්ම විවිධ සමාජ සත්කාරක කටයුතු උදෙසා නායකත්වය දී කටයුතු කරන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක ද වන්නීය. ඇය සහ සැමියා සතියේ එක් දිනක් දූදරුවන් සමග ගත කිරීමට වෙන් කර ගෙන තිබේ. එහිදී ඔවුනගේ අනාගත අභිලාෂයන් සහ ජීවිතය ගැන අදහස් හුවමාරු කර ගනිති. 

අපි මතුපිටින් නොදකින එහෙත් ඇතුළාන්තයෙන් ඉතා ගුණගරුක මිනිසකු ලෙස මෙම මුකේෂ් අම්බානි ගැන කිව හැකිය. දෛවයට ඉඩ දී නොසිට, පියා ඇරඹූ තැනින් පටන් ගෙන ඊට වඩා ගව් සිය ගණනක් දුර ගිය මේ මුකේෂ් අම්බානි ගැන බිරිඳ අර්ථ දක්වන්නේ මෙලෙසිනි. 

‘‘එයා බොහෝ තැන්පත් චරිතයක්. මුම්බායිහි මයිසුර් කැෆේ එකට ගිහිල්ලා ඉඩ්ලි - සාම්බාරු කන්න හරිම ආසයි. එයා හරිම විනීතයි. ඒ වගේම හරිම ලජ්ජාකාරයෙක්. අපි දරුවන් සමග සෑම ඉරිදාවකටම ගෙන දෙන්නේ වඩා අරුත්බර මොහොතක්. එයා හොඳ සැමියෙක්. හොඳ පියෙක්. හොඳ හදවතක් තියෙන මිනිසෙක්.’’

මුකේෂ් අම්බානි ගැන වෙන කවුරුවත් කියනවාට වඩා බිරිඳ දක්වන ඒ අදහස හොඳටෝම ප්‍රමාණවත් නේද? ඉතින් ඔහු ගැන වෙන සහතික කුමකටද? මේ ලෝක ධනවතාගේ දියණියගේ උත්සවයක් වෙනුවෙන් ශ්‍රී ලාංකීය ප්‍රවීන නර්තන ශිල්පියකු වන චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ නර්තන කණ්ඩායමේ දායකත්වය ද ලබාගෙන තිබේ. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්කල එය ද එක්තරා විශේෂ අවස්ථාවක් විය.

සටහන - සඳුන් ගමගේ
උපුටා ගැනීම ලංකාදීප
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu