Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන අප කතානායක දහසය හැවිරිදි යෞවනයා එය තමාගේ දෛවය වෙනස් කරන හෝරාව එය කියා දැන සිටියේ නැත.

ඔහුට එදා පන්දු යවන්නට සිදුව තිබුණේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දුව පෝෂණය කරන පුහුණුකාරතුමාටය. නමුත් ඔහුගේ සිතේ චකිතයක සේයාවක් හෝ නැත. ඔහු දිවවිත් හැකි උපරිම වේගයෙන් පන්දුව මුදා හැරියේය. ඒ වන විටත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු බලා කියා ගත් පිතිකරණ අන්තයේ සිටි පුහුණුකරුවාගේ සිත මේ තරුණයා කෙරේ උපරිමයෙන්ම පැහැදී තිබුණි.

ලසිත් මාලිංග නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූ තවත් එක්තරා පුරාවෘත්තයක් ක්‍රීඩාවට සමුදෙන මොහොතේ ඔහුගේ ක්‍රිකට් ආරම්භය ගැන කියන්නට අප හා එක්වූයේ මාලිංගගේ හැකියාව මුලින්ම හඳුනා ගත් චම්පක රාමනායක නම් සුවිශේෂී පුහුණුකාරතුමාය. බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවා ලෙස මෙහි පැමිණි සිටින රාමනායක මහතා සිය සුවිශේෂී ගෝලයාගේ මතකය අවධි කරන්නේ මේ ආකාරයෙන්ය.

“1997 වසරේ මම ගාලු ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස ද කටයුතු කරන ගමන්. ඒ දවස්වල මාස පහක වගේ කාලයක් මම එංගලන්තයේ ලීග් ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත වෙනවා. ඔය කියන දවස්වල කෝචිං කියන දේ මට හොඳටම ගැළපෙනවා කියලා තේරිලා තිබුණේ.

ඒ කාලේ ගාමිණි දිසානායක මහත්මයාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු ක්‍රිකට් පදනමක් තිබුණා. මට තාම මතකයි 1998/99 වගේ කාලේ මේ කියන ක්‍රිකට් පදනමෙන් සංවිධානය කෙරුණා පිට පළාත්වල සිටින දක්ෂ ක්‍රීඩකයින් සහභාගී කරගෙන ක්‍රිකට් පුහුණු කඳවුරක්. එය බාරව සිටියේ හිටපු නායක අනුර තෙන්නකෝන් මහත්මයා. ඔය අතරේ මට ආරාධනාවක් ලැබුණා මේ පුහුණු කඳවුරේ වේගපන්දු යවන්නන්ව පුහුණු කරන්න එන්න කියලා. මේ ළමයි පාසල්වල ක්‍රීඩා කරන අය වුනත් ඒ වයස් සීමාවල ප්‍රධාන කණ්ඩායම් නියෝජනය කරපු අය නොවෙයි.

ලසිත් මාලිංග කියන දරුවත් මේ අතර හිටපු කෙනෙක්. ලසිත්ව මම මුලින්ම දැක්කේ එතැන දී. මම ඒ වෙද්දිත් පළමුපෙළ තරග ක්‍රීඩා කරමින් හිටපු ක්‍රීඩකයෙක් නිසා මට පන්දු කිහිපයකට පහර දීමට තිබුණොත් හොඳයි කියල හිතුණා. ඉතින් මම පෑඩ්ස් දාගෙන නෙට් එකට ගියා බැට් කරන්න. ලසිත් ඒ වෙලාවේ බෝල් කරමින් හිටියා. විශ්වාස කරන්න ලසිත් දාපු හුඟාක් පන්දු මම දැක්කේ නැහැ. මම එදා සෑහෙන අපහසුතාවයකට ලක්වුණා.

බෝල කිහිපයක් බැට් කරලා මම ලසිත් ගාවට ගිහින් කිව්වා ගාල්ල ක්‍රිකට් සමාජයේ පුහුණුවීම් වලට එන්න කියල. මට එදා ආපු දරුවන්ගෙන් වැඩිපුරම හිතට ඇල්ලුවේ ලසිත්. ඇත්තටම මම මෙහෙම පන්දු යවන්නෙක් කලින් දැකල තිබුණේ නැහැ. මම සෑහෙන උද්දාමයට පත්වුණා මේ දරුවා දැකලා. එකක් ඔහුගේ අසාමාන්‍ය ඉරියව්ව. අනෙක් කාරණාව ඔහුගේ වේගය.

නමුත් අපේ පළමුපෙළ තරගාවලිය සහ පාසල් ක්‍රිකට් තරගාවලියේ දින වකවානු එකම කාලයකට යෙදෙන නිසා ලසිත්ට ඒ අවුරුද්දේ ගාලු ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන්න එන්න ලැබුණේ නැහැ.

නමුත් ඊළඟ අවුරුද්දේ ඔහු අපේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න පැමිණියා. අපට සති අන්තයේ තිබුණා කොළඹ ක්‍රිකට් සමාජය සමග තරගයක්. මගේ බෙල්ලේ ආබාධයක් ඇතිවෙලා තිබුණේ ඒ වෙද්දී. ඉතින්ම මම කල්පනා කලා ලසිත්ව පොඩ්ඩක් මේකට දාල බලන්න ඕන කියල. තරග ක්‍රීඩා නොකළට ඒ වෙද්දිත් ලසිත් අපේ කණ්ඩායමේ මුල් දහසය දෙනාට නම් කරලා තිබුණේ. මට මේ සඳහා උපරිම අයිතිය තිබුණා. මොකද මම ඒ කණ්ඩායමේ පුහුණුකරු, ආරම්භක පන්දු යවන්නා විතරක් නොවේ නායකයත් එක්ක.

මට මතක විදියට මේ තරගයේ දී ජෙහාන් මුබාරක්, මයිකල් වැන්ඩොට්, ප්‍රසන්න ජයවර්ධන, අනුෂ්ක පොලොන්නෝවිට වගේ නම් දරාපු ක්‍රීඩකයෝ රාශියක් සී. සී. සී කණ්ඩායම නියෝජනය කළා. නමුත් වයස දාහතේ දී තමන්ගේ මුල්ම පළමුපෙළ තරගයට ක්‍රීඩා කරන ලසිත් ඉනිම් දෙකේ දී ම කඩුලු හතර බැගින් කඩුලු අටක් දවා ගත්තා. ඇත්තටම සමහර පිතිකරුවෝ දැක්කේ නෑ පන්දුව එන්නේ කොහෙන්ද කියලවත්. එදා තරගය බලන්න මගේ මිත්‍රයෙක් ඇවිත් හිටියා. මම එදා ඔහුට කිව්වා කවදාහරි මේ කොල්ලා ලංකාවට විශාල කීර්තියක් ගේන බව. මාලිංගගේ මේ විශේෂ දස්කම් නිසා අපිට එදා සී. සී. සී කණ්ඩායම පහසුවෙන්ම පරාජය කරන්න ලැබුණා.

2001/02 19න් පහළ ලෝක කුසලානය පැවැත්වුණේ නවසීලන්තයේ දී. මම මේ කණ්ඩායම තෝරන කමිටුවේ සාමාජිකයෙක්. ඇත්තටම ලසිත්ගේ මේ අසාමාන්‍ය ඉරියව්ව, වේගය සහ කැපවීම නිසා ඔහුව මේ කණ්ඩායමට එකතු කරන්න මට ලොකු උවමනාවක් තිබුණා. නමුත් එදා සී. සී. සී තරගයේ ලසිත්ගේ දක්ෂතා දැකලා තිබුණේ අතලොස්සයි. ඉතින් අනෙක් තේරීම් කමිටු සාමාජිකයින් කැමති වුනේ නැහැ ලසිත්ව ගන්න. මොකද මම කොයි තරම් කිව්වත් ඔවුන් මාලිංග කියන්නේ කවුද කියලා දන්නේ නෑ. නමුත් මම දිගටම සටන් කළා. නමුත් ඒක සාර්ථක වුනේ නැහැ. අපිට තරගාවලියට කලින් තිස් දෙනෙකුගේ සංචිතයක් ක්‍රිකට් කවුන්සිලයට යවන්න සිද්ධ වෙනවා. මේ අතරට ලසිත්ගේ නම දාගන්න මට බැරි වුනා.

අන්තිමේ අපට ලෝක කුසලානය වෙනුවෙන් රදැල්ලේ තිබුණා පුහුණු කඳවුරක්. මම කිව්වා මට අතිරේක පන්දු යවන්නන් කිහිප දෙනෙක් අරන් යන්න ඕන කියල. ඒ ආකාරයෙන් මම ලසිත්ව රදැල්ලට රැගෙන ගියා. මේ පුහුණු කඳවුරට තේරීම් කමිටුවේ ප්‍රධානියා වන මයිකල් තිසේරා මහතා වගේම ඕස්ට්‍රේලියාවේ නම් දරපු පුහුණුකරුවෙක් වෙන ඩැරල් ෆොස්ටර් මහත්මයාත් එක්වෙලා හිටියා. ඔහු ලංකාවට ඇවිත් හිටියේ වෙනත් කාරණාවකට. හැබැයි ඔහු රදැල්ලට ආවා අපට උදව් කරන්න. ලසිත් පන්දු කිහිපයයි යැව්වේ ඩැරල් ෆොස්ටර් මහත්මයාගේ ඇස් උඩ ගියා. ඔහු මයිකල් තිසේරා මහත්මයා ළඟට ගිහින් කතා කරල ඇහුවා ඇයි මේ ක්‍රීඩකයාව ගන්නේ නැත්තේ කියල. අවාසනාවකට ඒ වෙද්දී ලංකාවෙන් නම් කරපු ක්‍රීඩකයෝ තිස්දෙනා වෙනස් කරන්න බෑ. අපි පුදුම උත්සාහයක් ගත්තා. නමුත් එය අසාර්ථක වුනා. නමුත් කවුරුත් වැඩිය ලසිත්ව නොදැන සිටි වරදට ඔහුට යොවුන් ලෝක කුසලානයක් අහිමි වුනා.

2003 වසරේ කොළඹ එන්. සී. සී කණ්ඩායම එක්ක තිබුණ තරගය ලසිත්ගේ ක්‍රීඩා ජීවිතයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක්. මට මතක විදියට කුමාර් සංගක්කාර, උපුල් තරංග, රසල් ආනල්ඩ් සහ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හෂාන් තිලකරත්න වගේ අය එදා එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කළා.

මම ලංකාවේ තණතීරුවක කවුරුත් ඒ තරම් වේගයෙන් බෝල් කරනවා දැකලා නෑ. කඩුලු රකින්නා හිටියේ යාර තිහේ සීමාව කිට්ටුව. එදා ලසිත් තරගය පුරාවටම කඩුලු දහයක් දවා ගත්තා. එන්. සී. සී කණ්ඩායම ඉනිම දෙකේම ලකුණු සියයේ සීමාවට ළඟා වෙන්න බැරි වුනා කියල තමයි මට මතක. හෂාන් එදාම ඇවිත් කිව්වා මේ කොල්ලා මට ඕන කියල. එදා අනෙක් අන්තයෙන් නුවන් කුලසේකර පන්දු යැව්වේ. ඔහුත් පිතිකරුවන්ට විශාල තර්ජනයක් එල්ල කරමින් මාලිංගට සෑහෙන සහායක් ලබා දුන්නා.

ලසිත් මාලිංග සිය වේගපන්දුවේ මග පෙන්වන්නා සමඟ ©AFP

ඉස්සර මම ලසිත්ව අරගෙන යනවා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට පන්දු යවන්න. නමුත් කිසිම කෙනෙක් ඔහුට පුහුණු දැලේ දී මුහුණ දෙන්න කැමති වුනේ නැහැ. මොකද පන්දුව එන මාර්ගය ඔවුන්ට හොයාගන්න බැහැ. එක වතාවක් සමහර ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් එවකට කළමනාකරු ලෙස කටයුතු කරපු අජිත් ජයසේකර මහත්මයාට මේ ගැන කියල තිබුණා.

අජිත් ජයසේකර මහත්මයා මට පණිවුඩයක් එවලා තිබුණා ආයේ ලසිත්ව ගේන්න එපා කියලා. එතුමා මුණගැහුණාම මට කිව්වා. “කවුද බං මේ, මට සීනීයර්ස්ල කෑගහනවා එයාලට බෝලේ වැදිලා ඉන්ජරීස් එනවා කියලා. ආයේ ගේන්න එපා කියල.” ඉතින් මම ජයසේකර මහත්මයාට කිව්වා කොල්ලා ඔය තරම් හොඳ නම් මෙයාව නැෂනල් ටීම් ගන්නකෝ කියල.

2003 ශ්‍රී ලංකාවේ පැවැත්වුණ නැගී එන ක්‍රීඩකයින්ගේ කුසලානයේ දී තමයි ලසිත් ගැන මුලින්ම ජාත්‍යන්තරය දැන ගන්නේ. මේ තරගාවලියට ඉන්දියානු කණ්ඩායමක් සහ පාකිස්තානු කණ්ඩායමක් ද පැමිණ සිටියා.

ඉන්දියානු නැගී එන කණ්ඩායමට ගෞතම් ගාම්භීර්, දිනේෂ් කාර්තික්, ඉර්ෆාන් පතාන්, ලක්ෂ්මිපති බාලජී, ලක්ෂ්මි රතන් ෂුක්ලා වගේ පසු කාලෙක නමක් දිනපු ක්‍රීඩකයින් ඇතුළත් වෙලා හිටියා. එම තරගාවලිය පුරාවටම ලසිත් හොඳින්ම පන්දු යැව්වා.

ලසිත් මාලිංග සිය පළමු ටෙස්ට් තරගයේ දී 

2004 වසරේ මැද අපිට ඕස්ට්‍රේලියානු සංචාරයක් යෙදිලා තිබුණා. මේ කණ්ඩායමට එක් වේගපන්දු යවන්නෙක්ගේ අඩුවක් තිබුණා. එවකට තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහත්මයා😳 මාව මුණගැහිල ඇහුවා කාවද රෙකමන්ඩ් කරන්නේ කියල. මම කිව්වා ලසිත් තමයි මේ වෙන කොට හයියෙන්ම දාන්නේ, ඒ නිසා මගේ තේරීම ලසිත් කියලා. ඔන්න ඔහොම ලසිත් මුලින්ම ටෙස්ට් වරම් දිනා ගන්නේ. නමුත් එදා ඉඳලම එයාගේ හිතේ තිබුණා එයා විශේෂ කෙනෙක් කියන දේ.

ඒ ටෙස්ට් තරගාවලියේ දී ලසිත් කඩුලු 10ක් දවා ගත්තා. තරගාවලියේ මුල්ම තරගය නිමා වුනාම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් ලසිත් ළඟට ඇවිත් කඩුල්ලක් අතට දීල කිව්වලු ඔබයි ඇත්තටම මේ තරගයේ වීරයා කියල. එදා ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට හිතාගන්න බැරි වුනා ලසිත්ගේ පන්දු කොහෙන්ද එන්නේ කියල.

ලසිත් ආපු මුල්ම කාලේ වේගය විතරයි තිබුණේ. නමුත් එයා ක්‍රමයෙන් පන්දුව හොඳින් දෝලනය කරන්නේ කොහොමද, යෝකර් පන්දු යවන්නේ කොහොමද, වේගය අඩාල කරල පන්දු යවන්නේ කොහොමද ඔක්කොම ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ලසිත් මුලින්ම බෝල් කරද්දී සීම් එක බිම වදින්නේ නැහැ. එතකොට දෝලනය ලබාගන්න අමාරුයි. ඒත් එයා කොච්චර දක්ෂයෙක් ද කියනවා නම් ඒ හැමදේටම එයාට පිළිතුරක් තිබුණා. අන්තිමට එයා ක්‍රීඩාව නිමා කරන්නේ පරිපූර්ණ වේගපන්දු යවන්නෙක් ලෙස. ක්‍රිකට් කියන ගේම් එක හොඳටම රීඩ් කරන්න පුළුවන් අති දක්ෂයෙක් ලසිත් මාලිංග කියන්නේ.

2008 වසරේ මාලිංග ආබාධයකට ලක්වුණාම ඔහුව කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කරන්න ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා. මට ඒ වෙලාවේ සෑහෙන දුකක් ඇති වුනේ. ලංකාවේ කිසිම ක්‍රීඩකයෙකුට මීට පෙර ඒ විදියට සලකලා නැහැ. නමුත් ලසිත්ගේ මනස හරිම ශක්තිමත්. එයා නැවත වතාවක් ඉතා ශක්තිමත්ව නැගී සිටියා.

ගොඩක් දෙනෙක් කතා කරනවා මාලිංගගේ ශරීර යෝග්‍යතාවය ගැන. නමුත් ඔවුන් දන්නේ නැහැ ඔහුට හැමදාම වදයක් වුන ආබාධිත තත්වය නිසා මාලිට වැඩිය දුවන්න බැහැ කියල. ඔහුට දණහිසේ ආබාධයක් තියනවා. ඔහු පන්දු යැවීම ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ ඒ නිසායි. මම එකක් කියන්නම් කොයි තරම් ශරීර වේදනාවක් තිබුනත් තමන්ට අයිති පන්දුවාර හතර හෝ දහය ඉවර නොකර කවදාවත් ඔහු එළියට ඇවිත් නැහැ. ලසිත් මාලිංග කියන්නේ ඒ තරම්ම කණ්ඩායම් ක්‍රීඩකයෙක්.

මම ඒකට උදාහරණයක් දෙන්නම් මුත්තයියා මුරලිදරන්ගේ අවසන් මහා තරගයේ දී මුරලිට අටසිය වැනි කඩුල්ල ලබා ගන්න මාලි කඩුල්ලට එපිටින් පන්දු යැවූ ආකාරය මට අද වගේ මතකයි.

ලසිත් මාලිංග කියන පන්දු යවන්නට හැම පිතිකරුවාටම සැලසුම් තිබුණා. ඇත්තටම අදටත් අයි. පී. එල් තරගයකින් පස්සෙ පවා මගෙත් එක්ක අඩුපාඩු තව දියුණු කර ගත යුතු දේ කතා කරනවා. ආඩම්බරයෙන් කිවයුතුයි මම ලසිත්ගෙන් ඉගෙන ගත්තු දේත් බොහෝමයි. එයා හිතන විදිය, පිතිකරුවන් දවා ගන්න හදන සැලසුම් පුදුමාකාරයි.

බොහෝමයක් දෙනෙක් ලසිත්ගේ කොණ්ඩ මෝස්තර ගැන චෝදනා කළා. මටත් කට්ටිය ඇවිත් පැමිණිලි කළා. නමුත් මගේ ගෝලයා සියයට සීයක් කැපවෙනවා නම් වෙලාවට පුහුණුවීම් වලට එනවා නම් විනයගරුක නම් මට ඉන් එහා දේවල් අදාළ නැහැ. කොණ්ඩ මෝස්තරයකින් හෝ පච්චයකින් මනුස්සයෙක් මනින්න බැහැ.

ලසිත් නායකත්වය ලබා ගනිද්දී ක්‍රීඩකයින්ගේ හැමවිටම මනස හදන්න ක්‍රියා කළා. සමහර දවසට ඔහු කාසි කිහිපයක් අරන් ඇවිත් ඒවා පන්දු රකින්නන් විදියට තියල අනෙක් ක්‍රීඩකයින්ට පෙන්නනවා කොහොමද සැලසුම් සකස් කළ යුත්තේ කියා. මම හිතනවා ඔහු 2020 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කරගෙන ඇති කියල.

වයස දාහතේ දී ඔහු ගාලු ක්‍රිකට් සමාජයට ආපු මුල්ම දවස්වලත් අනෙක් අන්තයේ ඉන්න පිතිකරුවා ගැන කිසිම තැකීමක් කළේ නැහැ. ඔහුගේ ජාත්‍යන්තර තරග දිවිය පුරාවටම එහි වෙනසක් තිබුණේ නැහැ. පිතිකරුවාගේ ප්‍රතිරූපය කිසිම ආකාරයකින් ඔහුට බලපෑමක් කළේ නැහැ. ඒ වගේම අසාධාරණය හමුවේ ඔහු කිසිම විටක කට පියාගෙන සිටියේ නැහැ.

ලසිත් මෑතක දී කතා කරල මට කිව්වා සර් කොහේ හිටියත් මගෙ අන්තිම මැච් එක බලන්න එන්න ඕන කියල. මම ටිකට් එකකුත් එවන්නම් කියල. මම ඔහුට කිව්වා සමහර විට මම බංග්ලාදේශ කණ්ඩායම සමඟ මෙහි ඒවි කියල. ඉතින් කිව්වත් වගේ මගේ හොඳම ගෝලයාගේ අවසන් තරගය බලන්න මම ආවා. ඇත්තටම ලසිත් මාලිංග කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම පුරාවෘත්තයක්. මට ඔහු ගැන තියෙන්නේ අසීමිත ආඩම්බරයක්.”

සමාජ මාධ්‍යජාලා ඇසුරිණි

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page