තෙල් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනය යටතේ පැවතුණි නම් මිල උච්චාවචනයන් පාලනය කරමින් පුළුල් සේවාවක් සැපයිය හැකි වුවද, පෞද්ගලික අංශයද වෙළඳපොළ කොටසක් හිමිකරගෙන සිටීම හේතුවෙන් ඇතැම් සීමාකාරී තත්ත්වයන් මතුව ඇති බව යි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
පසුගිය කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති ඩීසල් වෙළඳපොළ පංගුව 58% ක මට්ටමක පැවතුණද, වර්තමානය වන විට එය 77% දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. පෞද්ගලික සැපයුම්කරුවන්ට තරගකාරී ලෙස මිල ගණන් පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් සැපයුම සීමා කර ඇති අතර, ඛනිජ තෙල් සංස්ථාව ඊට වඩා තරගකාරී මිලකට ඉන්ධන අලෙවි කරමින් ඉහළ ලාභයක් අත්කර ගැනීමට සමත්ව ඇත.
මැදපෙරදිග ඇති වූ යුධමය වාතාවරණයත් සමඟ ගෝලීය වශයෙන් මතුවූ අර්බුද හමුවේ, වර්තමානයේ රට මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ ඉන්ධන මිලකරණයයි. ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අවස්ථාවලදී, එම සම්පූර්ණ බර ජනතාව මත පැටවීම වැළැක්වීම සඳහා රජය ත්‍රිත්ව ක්‍රමවේදයක් අනුගමනය කර ඇත.
ඒ යටතේ ඉන්ධන මිල ඉහළ යාමේ බරෙන් කොටසක් පාරිභෝගිකයා, කොටසක් සැපයුම්කරු සහ ඉතිරි බර භාණ්ඩාගාරය විසින් දරනු ලබයි. උදාහරණයක් ලෙස, ඩීසල් මිල විශාල ලෙස ඉහළ නැංවීමට අවශ්‍ය වූ අවස්ථාවක සුළු මිල වැඩිවීමක් පමණක් සිදු කර, ඉතිරි දැවැන්ත බර භාණ්ඩාගාරය මඟින් පියවා ගැනීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
කෙසේ වෙතත්, සාමාන්‍ය ඉන්ධන සහනාධාර ක්‍රමවේදය තුළදී වැඩිපුරම ඉන්ධන දහනය වන්නේ විශාල වාහන සඳහා වන බැවින්, එහි සැබෑ ප්‍රතිලාභය වැඩිපුර ලැබෙන්නේ විශාල වාහන හිමියන්ටය. එබැවින්, ඉලක්කගත නිවැරදි ජනකොටස වෙත සහනාධාරය ළඟා කර දීම සඳහා ඉදිරියේදී විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආර්ථිකයේ තීරණාත්මක අවස්ථාවලදී ජනතාවට අමතර පීඩනයක් ඇති නොවන අයුරින් මෙම සහනාධාර ක්‍රමවේදය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ක්‍රමවත් කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

