පාසල් පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 33,600ක් වෙන් කෙරේ

2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක වන පාසල් පෝෂණ වැඩසටහන උදෙසා රජය විසින් රුපියල් මිලියන 33,600ක දැවැන්ත අරමුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය. මෙම වැඩපිළිවෙළ හුදෙක් ආහාර වේලක් ලබා දීමෙන් ඔබ්බට ගොස්, රටේ සෞඛ්‍ය මට්ටම සහ දේශීය ආර්ථිකය එකිනෙක යා කෙරෙන පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ඉදිරියට ගෙනයාම රජයේ මූලික අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
කොළඹදී පැවති ප්‍රථම "ජාතික පාසල් පෝෂණ සමුළුව 2026" (ඔක්තෝබර් 02 දින) වෙත එක්වෙමින් අග්‍රාමාත්‍‍යවරිය මෙම අදහස් පළ කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, වර්තමාන වන විට පාසල් 8,990ක් ආවරණය කරමින් සහ සිසුන් මිලියන 1.5කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දෙමින් ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ ජාතික ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ මෙවැනි සමුළුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, ‘සේව් ද චිල්ඩ්‍රන්’ (Save The Children) ආයතනය ඇතුළු අදාළ පාර්ශ්ව රැසකගේ සහභාගීත්වයෙන් මෙහිදී දත්ත සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, රටේ බොහෝ දරුවන්ට දිනපතා ලැබෙන වඩාත්ම විශ්වාසදායක මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේල මෙය වන බැවින්, දරුවන්ට සාර්ථක අධ්‍යාපන ගමනක් යාමට රජයක් ලෙස මෙමඟින් මූලික අවස්ථාවක් සපයන බවයි. බදු ගෙවන ජනතාවගේ කැපකිරීමෙන් ලැබෙන සෑම රුපියලක්ම ඉතා වගකීමෙන් යුතුව මෙම ව්‍යාපෘතිය සඳහා යොදවන බවද ඇය අවධාරණය කළාය.

එමෙන්ම, මෙය අතීතයේ මෙන් කුසගින්න නිවන වැඩසටහනකට පමණක් සීමා නොකර, බෝ නොවන රෝග පාලනයට, මන්දපෝෂණය හා වර්ධනය බාල වීම අවම කිරීමට විසඳුමක් ලෙස දැකිය යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දරුවන්ට රුචි වන අයුරින් විවිධත්වයෙන් යුත් ආහාර වේලක් ලබා දීම සඳහා දේශීය කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සමුපකාර ක්‍රමය මෙන්ම ප්‍රජාව තුළ සිටින මව්වරුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහාද මෙම වැඩසටහන උපයෝගී කරගත යුතු බව ඇය ප්‍රකාශ කළාය.

ආහාර නාස්තිය වැළැක්වීම, තිරසාර ආහාර ක්‍රـම හඳුන්වා දීම සහ නව වෘත්තීය මාර්ග පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට මෙය කදිම ආරම්භයක් කරගත යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, සම්ප්‍රදායික රාමුවලින් බැහැරව නවීන අවශ්‍යතාවලට ගැලපෙන ආකෘතියක් සැකසීමට සියලු පාර්ශ්වවල සහයෝගය අපේක්ෂා කරන බවද පැවසුවාය.

මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරී ඩේවිඩ් මයර්ස් සහ ‘සේව් ද චිල්ඩ්‍රන්’ ආයතනයේ ප්‍රධාන නිලධාරී මයිකා ඕලඩ් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu