නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත් බවට වන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී 2014 සහ 2015 වසරවලදී රුපියල් ලක්ෂ 100ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයා මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරී වී ඇත්තේ, මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් ලබාගත් අල්ලස් මුදලක් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බවයි.

ඒ අනුව, අදාළ උපදෙස් මත මෝසමක් මගින් නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා ඔහු සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. 

මෙම නඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu