දිට්වා ආපදාවට ලක්වූ ප්‍රදේශවල නැවත නාය යෑමේ අවදානමක්

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ කිහිපයක නායයෑමේ පූර්ව ලක්ෂණ මතුවෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මේ බව අනාවරණය කළේය. පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණයත් සමඟ මෙම අවදානම් තත්ත්වය හටගෙන තිබේ.

දිට්වා සුළි කුණාටු සමයේදී පූර්ණ වශයෙන් නායනොගියද, පස් සහ ගල් පහළට ගලා ආ ප්‍රදේශවල ඉදිරි දැඩි වර්ෂාවත් සමඟ නායයෑම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා පැවසීය. 

මෙතෙක් සිදුකළ නිරීක්ෂණ අනුව, නායයෑම් හේතුවෙන් දැනටමත් අධි අවදානම් තත්ත්වයේ පසුවන පවුල් 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර,  අධික වර්ෂාවක් පවතින අවස්ථාවක නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වේ නම්, හැකි ඉක්මණින් එම ප්‍රදේශවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් නායයෑම් හෝ ඒ ආසන්න ප්‍රදේශ පරීක්ෂා කිරීමට හෝ නැරඹීමට කිසිදු අවස්ථාවක නොයන ලෙසත් ආචාර්ය වසන්ත සේනාධීර පවසයි.

“තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න. විශේෂයෙන් මේ වනවිට පසුගිය වසර 15 ඇතුළත අධි අවදානම් පවුල් 15,000ක් පමණ අපි හඳුනාගෙන තියෙනවා. පවුල් 5,000ක් විතර නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. හැබැයි මේ දිට්වා සිද්ධිය සමඟ නැවත අධි අවදානම් පවුල් 16,793ක් මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම තවත් වැඩිවෙනවා. මොකද නිරීක්ෂණ කටයුතු අවසන් වෙලා නැති නිසා. මේකෙන් පේනවා මේක කොච්චර තද බල විදියට අපිට බලපාලා තියෙනවා ද කියලා. ඔක්කෝම එකතුව ගත්තොත් පවුල් 30,000කට වැඩිය අධි අවදානම් තත්ත්වයේ පවතිනවා. තොරතුරු නැති පවුල් මීට වඩා වැඩි වෙන්න පුළුවන්.

තමන්ගේ ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙනවා නම් ආරක්ෂිත ස්ථාන වෙත ගිහින් ජීවිත ආරක්ෂාව සලසා ගන්න. දිට්වාවලින් අනතුරුව අපි ආරක්ෂිත යැයි හඳුනාගෙන තිබූ ස්ථානත් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මෙය මීට පෙර අත්නොදැකපු තත්ත්වයක් අපිට මුහුණදෙන්න වුණ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා සියලු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ගෙනයන බොරු ප්‍රචාරයන්ට ඔබ සවන් දෙන්න එපා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න එපා. විශේෂයෙන්ම රජයේ ආයතන නිල වශයෙන් ලබාදෙන තොරතුරු මත පදනම්ව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu