පසුගිය අගෝස්තු 19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මඟින් මුල් පනතේ වගන්ති 18 ක් වෙනස් කිරීමට සැලසුම් කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන 86 ක එකමුතුව පෙන්වා දෙන්නේ, යෝජිත මෙම වෙනස්වීම් නිසා පුරවැසියාට හිමි තොරතුරු දැනගැනීමේ අයිතිය මෙන්ම භාෂණයේ නිදහසට ද තදින්ම බාධා එල්ල වන බවයි.
මේ අතර, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතරද සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. යෝජිත ඇතැම් සංශෝධන හේතුවෙන් වත්කම් හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය දුර්වල විය හැකි බවත්, එයින් අධිකරණ ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල විය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආන්දෝලනාත්මක යෝජනා කිහිපයක් ඉල්ලා අස්කර ගැනීමට රජයට සිදුවනු ඇතැයි වාර්තා වනවා.
මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් මහජනතාවට හා මාධ්‍යවේදීන්ට පරීක්ෂා කිරීමට 2023 අංක 9 දරන මුල් පනතින් පුළුල් අවස්ථාවක් සලසා දී තිබිණි. එහෙත්, නව සංශෝධන කෙටුම්පතේ 11 වැනි වගන්තිය මඟින් පෞද්ගලිකත්වයට මුවා වෙමින් “වෙනත් තොරතුරු” යන නම යටතේ ඒවා සංස්කරණය කර වසන් කිරීමට දූෂණ විමර්ශන කොමිසමට පුළුල් බලයක් පවරා තිබීම ගැටලුකාරීය.
තවද, එලෙස සංස්කරණය කරන ලද වත්කම් ප්‍රකාශයක් නියමිත අරමුණින් බැහැරව වෙනත් යමකට භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරමින් රුපියල් ලක්ෂයක උපරිම දඩයකට සහ වසරක සිරදඬුවමකට යටත් කිරීමට යෝජනා කර තිබීම, තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල වූ මරු පහරක් බව සිවිල් සංවිධාන අවධාරණය කරයි.
මීට අමතරව, රාජ්‍ය ආයතනවල නිලධාරීන් වත්කම් ප්‍රකාශ කළ යුතු සීමාවන් නිර්ණය කිරීමේදී, රජයේ කොටස් හිමිකාරිත්වය සියයට 25 සිට සියයට 50 දක්වා ඉහළ නැංවීමට ද මෙහිදී යෝජනා කර ඇත. මෙමගින් රාජ්‍ය පාලනය යටතේ පවතින ආයතන රැසක නිලධාරීන්ට තම වත්කම් හා බැරකම් හෙළිදරව් කිරීමේ වගකීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අවස්ථාව සැලසෙන බවට දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.

