වැසි තත්ත්වයේ වැඩි වීමක් ගැන අවවාදාත්මක නිවේදනයක්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානමින්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ. 

එසේම ස්ථාපිත වෙමින් පවතින නිරිත දිග මෝසම් තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (18) දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තුවන බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ. 

මේ අතර නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් ඇතිවන අධික වැසි තත්ත්වය මත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එසේම 117 හදිසි ඇමතුම් අංකය භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu