අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අතවර කල සැකකරු අත් අඩංගුවට - GMOA වැඩ වර්ජනය දිගටම


රා
ත්‍රී සේවයේ යෙදී සිටිය දී රෝහල් වෛද්‍යවරියක් ලිංගික අතවරයකට ලක්වීමේ පුවත නිසා මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. 

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ යෙදී සිටින වයස අවුරුදු 32ක්වන වෛද්‍යවරියක්. 

මෙම වෛද්‍යවරිය පෙරේදා (10) දින රාත්‍රී සේවයේ යෙදී සිටිය දී සිය රාත්‍රී ආහාරය ලබා ගැනීම සඳහා රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාමරය වෙත ගොස් තිබුණා. එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බිය ගන්වා මරණ තර්ජනය එල්ල කර ඇයට මෙම අතවරය සිදු කර ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ. 

මෙම සිද්ධියෙන් අනතුරුව අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් සිද්ධියට සාධාරණයක් ඉල්ලමින් සහ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ඊයේ (11) උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලා. 

ඉන් අනතුරුව මෙම සිදුවීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කලේ අද (12) උදෑසන 8 සිට පුරා පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක නිරත වීමටයි. එම සංගමය ඊයේ(11) දිනයේ දී නිවේදනය කලේ අද උදෑසන 8ට පෙර සිද්ධියට අදාළ සැකකරු අත් අඩංගුවට නොගතහොත් පුරා වැඩ වර්ජනයක් කැඳවන බවයි. 

කෙසේ වෙතත් හදිසි අනතුරු සේවා, ලමා, වකුගඩු, පිලිකා රෝහල්වල වර්ජනය ක‍්‍රියාත්මක නොවෙන බවයි පැවසෙන්නේ. 

මේ අතර සිද්ධියට අදාළ සැකකරු අත් අඩංගුවට ගැනීමට අද (12) උදෑසන ගල්නෑව පොලීසිය සමත්ව තිබෙනවා. 

වෛද්‍යවරියගෙන් සොරා ගත් ජංගම දුරකතන ඔස්සේ මෙම සැකකරු අත් අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ. 

මොහු මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෙම සිද්ධිය වීමට පෙර දිනයේ නිදහස්ව පැමිණ තිබෙන අතර ඔහු හමුදාවෙන් පලා ගිය අයෙක් බවට ද තහවුරු වී තිබෙනවා. නිලංක මධුරංග රත්නායක (බංටි) නම් මොහු ඩී 03, ඇලපාර. ගල්නෑව ලිපිනයේ පදිංචි කරුවෙක්.

කෙසේ වෙතත් මෙම සැකකරු අත් අඩංගුවට ගත්තද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වැඩවර්ජනය හෙට (13) උදේ 08.00 වන තුරු එලෙසම පවතින බවයි එම සංගමය ප්‍රකාශ කර ඇත්තේ. 













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu