1. නිල නිවාස අවභාවිතය සහ නීතිවිරෝධී ඉල්ලීම්
කතානායකවරයාට නිල නිවසක් හිමිව තිබියදී සහ එය පෞද්ගලික හා රාජකාරි කටයුතු සඳහා භාවිත කරමින්ම, අමාත්‍යවරුන් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා සහනදායී කුලී පදනම මත ලබාදෙන කොළඹ 04, ලෝරිස් පටුමග පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් අංක 8/1 දරන නිල නිවසද නීතිවිරෝධී ලෙස ඉල්ලා වෙන් කරවාගෙන භාවිත කිරීම.
2. පාර්ලිමේන්තුවට මූල්‍යමය අලාභයක් සිදුකිරීම
ඉහත සඳහන් ලෝරිස් පටුමග නිල නිවස භාවිත කරමින්ම, බත්තරමුල්ල, රජමල්වත්ත පිහිටි කතානායක නිල නිවසේ නඩත්තුව සඳහා පුද්ගලයන් 08 දෙනෙකුගෙන් යුත් පෞද්ගලික කාර්ය මණ්ඩලයක් පත් කර, ඔවුන්ගේ වැටුප්, දීමනා, ජල හා විදුලි බිල්පත් ඇතුළු වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීමට සැලැස්වීම.
3. පෞද්ගලික ලේකම්වරයාට නිල නිවාස ලබා දීමට මැදිහත් වීම
කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංඛ ගාල්ලගේ මහතාටද ලෝරිස් පටුමග සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් අංක 4/3 දරන නිල නිවස ලබා දීමට පෞද්ගලිකව මැදිහත් වීම මගින් රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දීම.
4. නිල නිවාසවල භාණ්ඩ අස්ථානගත වීම
රජමල්වත්ත කතානායක නිල නිවසේ තිබූ ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා ඇතුළු උපකරණ නිසි අනුමැතියකින් තොරව බාහිරට ගෙන යාම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වන අවස්ථාවක අදාළ භාණ්ඩ වට්ටෝරු ලේඛනය අස්ථානගත වීම.
5. මහජනතාව නොමග යැවීම
රජමල්වත්ත නිල නිවස කිසිදු කටයුත්තක් සඳහා භාවිත නොකරන බවට පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ප්‍රකාශ කරමින්, එම නිවස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම් සඳහා භාවිත කරමින් මහජන විශ්වාසය කඩ කිරීම.
6. වාහන සහ ඉන්ධන දීමනා අනිසි ලෙස භාවිත කිරීම
අනුමත සීමාව ඉක්මවා නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුව සතු තවත් වෑන් රථයක් ඇතුළු වාහන පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සහ අමතර ඉන්ධන ලබා ගැනීම.
7. අනුමැතියකින් තොරව මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යාම
කිසිදු නිල අනුමැතියකින් තොරව "කතානායක මාධ්‍ය ඒකකය" නමින් නීතිවිරෝධී ඒකකයක් පවත්වා ගනිමින්, පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ සහ රථවාහන පාර්ලිමේන්තු වියදමින් නඩත්තු කරමින් භාවිත කිරීම.
8. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම උල්ලංඝනය කිරීම
පෞද්ගලික කාර්ය මණ්ඩලය, වැටුප්, මාධ්‍ය ඒකකය සහ නිල රථ පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තු තොරතුරු නිලධාරීන්ට ලිඛිතව නියෝග කිරීම.
9. පාර්ලිමේන්තු අභ්‍යන්තර පාලනයට සහ විමර්ශනවලට බලපෑම් කිරීම
හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුමාර කුලරත්න මහතා සම්බන්ධයෙන් නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත් කර පාර්ලිමේන්තු අරමුදලින් මුදල් ගෙවීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ විමර්ශනවලට යටත්ව සිටින නිලධාරීන්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීම.
මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ප්‍රකාශ කළේ, යෝජනාව විවාදයට ගන්නේ නම් ඊට මුහුණ දීමට කතානායකවරයා සූදානම් බවයි.
එමෙන්ම, මෙම විශ්වාසභංගයේ අඩංගු චෝදනාවලින් බහුතරයක් හිටපු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න විසින් ගොනු කර දැනට අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ ඒවා බව ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා නීතිරීතිවලට අනුව (විශේෂයෙන් ස්ථාවර නියෝගවල සඳහන් වන ආකාරයට) අධිකරණයේ විභාග වෙමින් පවතින කරුණු සම්බන්ධයෙන් මෙგැනි යෝජනා ඉදිරිපත් කළ නොහැකි බවත්, තමන් කිසිදු වංචාවක් කර නොමැති බැවින් කිසිදු බියක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

