වාණිජ මහාධිකරණයේ විනිශ්චය බලය මෙන්ම පූර්ව නඩු විභාග අවස්ථාවේ (Pre-trial stage) පවතින සීමා සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් තීරණාත්මක තීන්දුවක් ප්රකාශයට පත් කර ඇත.
පූර්ව නඩු විභාග අදියරේදී ප්රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් වාණිජ මහාධිකරණය විසින් මීට පෙර නිෂ්ප්රභ කර තිබූ නඩුවකට අදාළ නියෝගය අහෝසි කිරීමට ශ්රේෂ්ඨාධිකරණය මෙහිදී පියවර ගෙන තිබේ. මෙම නියෝගය ලබා දෙන ලද්දේ මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.
සිදුවීමට අදාළ පසුබිම පරික්ෂා කිරීමේදී, 'කිෂ් ඉන්ටර්නැෂනල්' (Kish International Pvt Ltd) ආයතනය විසින් ගොනු කරන ලද මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය ඉල්ලා ඇති වන්දි මුදල වාණිජ මහාධිකරණයට නඩු යොමු කිරීම සඳහා වන අවම මූල්ය සීමාවට ගැලපෙන සේ කෘතිම ලෙස ඉහළ දමා ඇති බවට විත්ති පාර්ශවය මුලින් චෝදනා කර තිබුණි. පසුව, පූර්ව නඩු විභාග අවස්ථාවේදී සිය මුල් විත්තිවාචකයට ඇතුළත් නොවූ කරුණක් වෙනස් කරමින් මූල්ය සීමාව පිළිබඳ ගැටලුව නැවත තර්ක කිරීමට විත්ති පාර්ශවය කටයුතු කළ අතර, එම කරුණු පදනම් කරගනිමින් 2024 වසරේදී වාණිජ මහාධිකරණය විසින් අදාළ නඩුව නිෂ්ප්රභ කිරීමට තීරණය කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව පැමිණිලිකාර සමාගම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් යොමු කරමින් කියා සිටියේ, පූර්ව නඩු විභාග අවස්ථාව යනු සාක්ෂි මෙහෙයවීම හෝ ඒවා අගය කිරීම සිදුකරන අවස්ථාවක් නොවන බවයි. එම නිසා, සාක්ෂි නොමැති බව පවසමින් එම අවස්ථාවේදීම නඩුව නිෂ්ප්රභ කිරීමට වාණිජ මහාධිකරණයට නීතිමය ප්රතිපාදන නොමැති බව පැමිණිලි පාර්ශවය පෙන්වා දෙන ලදී.
කරුණු සලකා බැලූ ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සඳහන් කළේ, පූර්ව නඩු විභාග සාකච්ඡාවක (Pre-trial conference) මූලික අරමුණ නඩුවේ සීමාවෙන් ඔබ්බට යමින් අලුත් කරුණු ඇතුළත් කිරීම හෝ එහි විෂය පථය පලල් කිරීම නොවන බවයි. යම් නඩුවක් ගොනුකරන මොහොතේදී අධිකරණ බලය නිසි ලෙස තහවුරු වී ඇත්නම්, පසුව නඩු විභාගයේදී තීන්දු වන මුදල ඉල්ලූ මුදලට වඩා අඩු වූ පමණින් අධිකරණයේ බලධූරයට බාධාවක් නොවන බවත්, පූර්ව නඩු විභාග අවස්ථාවේදීම සාක්ෂි ඔප්පු කරන ලෙස පැමිණිලිකරුගෙන් ඉල්ලා සිටීමට වාණිජ මහාධිකරණ විනිසුරුවරයාට බලයක් නොමැති බවත් ශ්රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම නීතිමය තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව වාණිජ මහාධිකරණයේ පෙර නියෝගය ඉවත් කළ ශ්රේෂ්ඨාධිකරණය, විත්තිකාර පාර්ශවයට නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කළේය. එමෙන්ම, මෙම නඩුවට අදාළ ඉදිරි කටයුතු ප්රමුඛතාවය දී වහාම ආරම්භ කර හැකි ඉක්මනින් විභාගය අවසන් කරන ලෙසටද වාණිජ මහාධිකරණයට නියෝග කෙරිණි. පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ගාමින්ද කරුණාසේන මහතාගේ උපදෙස් පරිදි ජ්යෙෂ්ඨ නීතිඥ නිෂාන් ප්රේමතිරත්න මහතා සමඟ නීතිඥ විකුම් ජයසිංහ සහ නීතිඥ මනිත් දසනායක යන මහත්වරු පෙනී සිටියහ

