දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නායයෑම් අධි අවදානමක් සහිත ස්ථාන 30,000කට වැඩි ප්රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සඳහන් කරයි.
අද (22) පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ ජ්යෙෂ්ඨ භූවිද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පෙන්වා දුන්නේ, මෙම මස 3 වැනිදා සිට මේ දක්වා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන 25ක් යාවත්කාලීන කර නිකුත් කර ඇති බවයි.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ වර්ෂාපතනය හේතුවෙන් ප්රදේශ රැසක නායයෑම්වල මූලික ලක්ෂණ මතු වී තිබේ. ඇතැම් පස් කඳු සහ ගල් තට්ටු තාවකාලිකව රැඳී පවතින අතර, ඉදිරියට ලැබෙන සුළු වර්ෂාවකින් පවා ඒවා කඩා වැටීමේ හෝ සෝදාගෙන යාමේ දැඩි අවදානමක් පවතී. එම නිසා අවදානම් සහිත ප්රදේශවල පදිංචිකරුවන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා ආරක්ෂිතව පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.
ඊයේ (21) ඇදහැලුණු වර්ෂාපතනයත් සමඟ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නැවත යාවත්කාලීන කර ඇති අතර, පහත සඳහන් දිස්ත්රික්ක සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 'අදියර 2' මට්ටමේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර ඇත:
මහනුවර දිස්ත්රික්කය: උඩපළාත, මැදදුම්බර සහ කුණ්ඩසාලේ
නුවරඑළිය දිස්ත්රික්කය: අඹගමුව සහ නෝර්වුඩ්
රත්නපුර දිස්ත්රික්කය: රත්නපුර, ඇළපාත සහ කුරුවිට
පවතින කාලගුණික වෙනස්වීම් සහ ඉදිරියට ලැබෙන වර්ෂාපතනය අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් වෙනස් විය හැකි බව ද භූවිද්යාඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

