මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි: ඉරානයට ප්‍රහාර සැලසුම් හෙළිවීමත් සමඟ ලෝක තෙල් මිල අහස උසට!

 




ඉරානය වෙත ප්‍රබල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සැලසුම් සකස් කරමින් සිටින බව CNBC පුවත් සේවය වාර්තා කරයි. පවතින ආරක්ෂක තර්ජන හමුවේ සෞදි අරාබියේ සේවය කරන අත්‍යවශ්‍ය නොවන ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම එරටින් ඉවත් වන ලෙස වොෂින්ටන පාලනාධිකාරිය නියෝග කර තිබේ.

'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත උපුටා දක්වමින් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව ඉරානයට එරෙහි මෙම හමුදා මෙහෙයුම දියත් කිරීමට දෙරටේ ආරක්ෂක අංශ සූදානම් වන බවයි.

මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගියදා හදිසියේම ඊශ්‍රායලයේ සංචාරයක නිරත වී ඇති අතර, එහිදී ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමු වී ඉදිරි ප්‍රහාර සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද අනාවරණය වේ.

මෙම ඒකාබද්ධ ප්‍රහාරයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, බලශක්ති යටිතල පහසුකම් මෙන්ම මිසයිල සහ ඩ්‍රෝන අවි ගබඩා ඉලක්ක කිරීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම නව ප්‍රහාර මාලාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් අවසන් අනුමැතිය ලබා දී නොමැති අතර, මහා පරිමාණ යුද ගැටුමකට යළි ප්‍රවිෂ්ට වීමට එරෙහිව ඔහු මීට පෙරද සිය නිශේධ බලය භාවිත කර තිබිණි.

මේ අතර තමන්ට ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග කලාපයේ දත්ත මධ්‍යස්ථාන සහ මුහුදු පත්ලේ ඇති අන්තර්ජාල සන්නිවේදන රැහැන් පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත. එමෙන්ම තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු පසුබැසීමක් සිදු නොකරන බවද ඉරානය අවධාරණය කරයි.

තවද, ඉරාන හිතවාදී යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර තීව්‍ර වීම හමුවේ සෞදි අරාබියේ සිටින ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ඉවත් කර ගැනීමට වොෂින්ටනය තීරණය කර ඇත. පසුගිය බදාදා දම්මාම් නුවර කිං ෆාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලැබූ අතර, 'සෞදි අරාම්කෝ' සමාගමට අයත් ෂෙයිබා තෙල් නිධියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින්ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. රොයිටර් පුවත් සේවයට අනුව, සෞදියට අමතරව කලාපයේ සෙසු ඇමරිකානු තානාපති කාර්යාලවල නිලධාරීන්ගේ පවුල්ද ඉවත් කර ගැනීමට ඇමරිකාව සැලසුම් කරයි.

මෙම උත්සන්න වූ යුද ආතතියත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ 'බ්‍රෙන්ට්' (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 98.12 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් විශාල ප්‍රතිශතයක් සිදු කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වුවහොත් තෙල් මිල මීටත් වඩා සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ භීතිය පළ කරති.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu