පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දුන්නේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත වෘත්තීයවේදීන්ගේ ආදායම මත පමනක් රජය බදු පැනවීම දැඩි අසාධාරණයක් බවයි.
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට සමස්ත බදු ආදායම ඉලක්කගත ප්‍රමාණය මෙන් 33% කින් පමණ ඉක්මවා ගොස් ඇති අතර, සමස්ත බදු ආදායම රුපියල් බිලියන 7,000 කට ආසන්න මට්ටමක පවතියි. මේ නිසා වෘත්තීයවේදීන්ට සහන සැලසීම රජයට අපහසු නොවන බව හෙතෙම කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වත්මන් වෛද්‍ය සේවයට සරිලන වැටුපක් නොමැති බවත්, නිවාඩු දීමනා ඇතුළු වරප්‍රසාද රැසක් අහිමි කර ඇති බවත්ය. කොවිඩ් වසංගත සමය ඇතුළු අර්බුදකාරී අවස්ථාවලදී වෘත්තීයවේදීන් දැඩි කැපකිරීම් කළද, වර්තමානයේ ඔවුන්ගේ වැටුපෙන් තුනෙන් එකක්ම බදු ලෙස කැපී යෑමේ අවාසනාවන්ත තත්ත්වයක් උද්ගතව ඇතැයි ඔහු පැවසීය.
මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් 3,000 කට අධික පිරිසක් මේ වන විට රට හැර ගොස් ඇති බවත්, ඇතැම් දිස්ත්‍රික්කයකටම සේවය සඳහා ඉතිරිව ඇත්තේ එකම විශේෂඥ වෛද්‍යවරයකු පමණක් බවත් ඔහු අනාවරණය කළේය. එසේම රෝහල්වල පවතින ඖෂධ හිඟය, මූලික පහසුකම් නොමැතිකම සහ ඉහළ ගිය ණය පොලී අනුපාත හමුවේ ඇතැම් වෛද්‍යවරුන්ට පවා 'අස්වැසුම' වැනි සුබසාධන ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට තරම් අසරණ තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
රටේ ආර්ථිකය යහපත් තත්ත්වයක පවතින බව ජනාධිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා සංඛ්‍යා දත්ත මත පදනම්ව තහවුරු කර ඇති හෙයින්, වෘත්තීයවේදීන්ට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජයට කිසිදු බාධාවක් නොමැති බව වෛද්‍ය විජේසිංහ මහතා අවධාරණය කළේය.
විශ්ලේෂණාත්මක අධ්‍යයනයකින් අනතුරුව මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බැවින්, ඉදිරි අය-වැය තුළින් උපයන විට ගෙවන බද්ද (APIT) සාධාරණ ලෙස අය කර ගැනීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ඇතැයි තමන් දැඩි ලෙස අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

