යුද හමුදාව භාවිත කළ හිස් කාලතුවක්කු උණ්ඩ 196ක් ඉන්දියාවට පන්නන්න යද්දී කොළඹ වරායේදී අල්ලයි

පසුගිය යුද සමයේ යුද හමුදාව විසින් භාවිත කරන ලද කාලතුවක්කුවල හිස් උණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස කන්ටේනරයක අසුරා ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී කොළඹ වරායේදී ඊයේ (01දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන්, ලද තොරතුරක් මත කොළඹ වරාය පරිශ්‍රයේදී මෙම කන්ටේනරය පරීක්ෂාවට ලක් කර අඑති බවයි වාර්තා වන්නේ.
මෙම කන්ටේනරය තුළ තිබී යුද සමයේ භාවිත කර ඉවත දමන ලද කාලතුවක්කු හිස් උණ්ඩ 196ක් සොයාගෙන ඇති අතර, එම නීතිවිරෝධී අපනයන ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදාව භාවිත කර ඉවත දමන ලද මෙවැනි යුද උපකරණ හෝ කාලතුවක්කු උණ්ඩ මේ ආකාරයට රටින් බැහැරට අපනයනය කිරීම දැඩි ලෙස නීතිවිරෝධී ක්‍රියාවක් බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu