ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම පිළිබඳ මහනායක හිමිවරුන්ගෙන් ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ඥානසාර හිමියන්ට අඛණ්ඩව චීවරධාරීව පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙස උන්වහන්සේලා අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

සම්පූණ ලිපිය

උපුටා ගැනීම

"අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්වහන්සේට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධවයි 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවට හා අධිකරණමය ක්‍රියාදාමයන්ට කිසිදු පාර්ශවයකින් බාධා නොවිය යුතු බව අපගේ ස්ථාවරයයි. එහෙත් ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්වහන්සේ ගිහි වස්ත්‍ර අන්දවා ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ දිනගේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අපගේ විමතියට හා දැඩි කනස්සල්ලට හේතු වන බව අවධාරණය කරනු කැමැත්තෙමු.   

භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන අතර එය ගරුතර මහාසංඝරත්නයට අයත් වන ශාසනික කර්තව්‍යයකි. වර්තමාන සන්දර්භය අනුව අදාළ භික්ෂුව අයත් වන නිකාය/පාර්ශවයේ ගරුතර කාරක මහාසංඝ සභාව වෙත සංඝ සම්මතයෙන් එවැනි කරුණක් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලධිකාරය පැවරී ඇත. ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්වහන්සේ භික්ෂුත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් තෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් කිසිදු තීරණයක් ගෙන නොමැත. එවන් පසුබිමක් තුළ බන්ධනාගාර පරිපාලනය මගින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමට හේතු වන අතරම බෞද්ධ සම්ප්‍රදායට සිදුවන බලවත් හානියකි.   

එහෙයින් අධිකරණය මගින් වරදකරු කරන ලද යම් භික්ෂුවකගේ භික්ෂුත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් එකී භික්ෂුව අයත් වන නිකාය පාර්ශවයේ නිර්දේශ හා නියමයන් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සුදුසු බව අපගේ විශ්වාසයයි. බන්ධනාගාර නීත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසියේ දැක්වෙන අන්දමට, "උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය." ඒ අනුව භික්ෂුවක් සම්බන්ධයෙන් මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීමේදී "වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම" වන්නේ චීවරය විනා ගිහි ඇඳුමක් නොවන බව අපගේ විශ්වාසයයි.   

තව ද එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17 (3) වන රීතිය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බව අපි විශ්වාස කරමු. එකී රීතිය ප්‍රකාරව "යම් සිරකරුවෙකු බලයලත්/අනුමත කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යනු ලබන සෑම අවස්ථාවකදීම, ඔහුට තමාගේම පෞද්ගලික ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුමක් ඇඳීමට අවසර දිය යුතුය." එබැවින්, ගරු අධිකරණ තීන්දුවට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින්, ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්වහන්සේ බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාව තුළ භික්ෂුත්වයට අගතියක් නොවන අයුරින් කටයුතු කිරීමට අවකාශය සලසා දෙන ලෙසත් ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ද අඛණ්ඩව භික්ෂූ භාවයෙන් (චීවරධාරීව) පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දීම සුදුසු බවත් හිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කර සිටිමි. "


උපුටාගනීම අවසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu