"මම යුද අපරාධකරුවෙක් නෙමෙයි... මම කළේ මව්බිම වෙනුවෙන් රාජකාරිය ඉටු කිරීම විතරයි" - ජෙනරාල් ශවේන්ද්ර සිල්වාගෙන් ජාත්යන්තරයට අභියෝගයක්
තමන්ට එරෙහිව පනවා ඇති ජාත්යන්තර සම්බාධකවලට පදනම් වූ කරුණු විමසීමට සහ චෝදනාවලට පිළිතුරු දීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා, ඉන්දියාවේ ‘ඉම්පැක්ට් ස්ටෝරීස්’ යූ ටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ කර තිබෙනවා. එසේම තමන් යුද අපරාධකරුවෙකු නොවන බවත් ඔහු පවසා සිටිනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු හමුදාපතිවරයා පවසා ඇත්තේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බවයි. ඇමෙරිකාව සහ බ්රිතාන්යය වැනි රටවල් තමන්ට සම්බාධක පැනවීමට හේතු වූ වරද කුමක්දැයි පැහැදිලි කරන ලෙස ඔහු ප්රශ්න කර සිටිනවා.
හමුදා නීතියට පටහැනිව කිසියම් හෝ වරදක් සිදු කර ඇත්නම් ඊට දඬුවම් ලැබිය යුතු බව තමන් පිළිගන්නා බවත්, තමන් සිදු කළේ රට වෙනුවෙන් පැවරුණු වගකීම නීත්යනුකූලව ඉටු කිරීම පමණක් බවත් හිටපු හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා.
අවසාන සටනේදී යටත් වූ 12,000කට අධික කොටි සාමාජිකයන් සුරක්ෂිතව පුනරුත්ථාපනය කළ බව පෙන්වා දුන් හමුදාපතිවරයා ශ්රී දළදා මාළිගාවට සහ කටුනායක ගුවන් තොටුපළට ප්රහාර එල්ල කළ ත්රස්තවාදීන්ට පවා සමාව හිමිව තිබියදී, නීත්යනුකූලව රට වෙනුවෙන් සටන් කළ වෘත්තීය හමුදාවකට එරෙහිව ජාත්යන්තර සම්බාධක පැනවීම කනගාටුදායක තත්ත්වයක් බව අවධාරණය කර සිටියා.

