වෙසක් පුන් පොහොය දිනය අදයි - ඉතිහාසෙන් බිඳක්

රුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි. 

ඒ නිමිති කොට පෙර අපර දෙ ද‍ිග හීනයාන මහායාන යන කොටස් දෙකට ඇතළත් හැටකෝටියකට අධික බෞද්ධ ජනතාව විසින් ආමිෂපූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමෙන් බුදුහිමියන් ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සි‍ඳෙන බැති කුසුම් පුදා කෘතගුණ සලකනු ලැබේ. මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රෙෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය.

බුද්ධ කාලයට පෙර සිට පවා භාරතයේ වෙසක් දිනය වැදගත් කටයුතු සඳහා යොදා ගත් බව ඉන්දියා ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේත් උන්වහන්සේට සහ ශ්‍රාවකයන්ට ගෞරව කිරීම සඳහා ජනතාව විසින් විවිධ උත්සව සංවිධානය කරන ලද අතර ඒවාට බුදුන්වහන්සේ සහ ශ්‍රාවක පිරිස ද සහභාගී වූ බව දීඝනිකාය, බුත්සරණ වැනි කෘතිවල සඳහන් වෙයි. සූත්‍රවල සඳහන් නොවූවත් අටුවා සහ පැරැණි සාහිත්‍ය කෘතිවල සඳහන් වනුයේ සූවිසි බුදුවරුන් හැම ඉපදීම, බුදු වීම හා පිරිනිවන් පෑම වෙසක් දිනවලම සිදු වූ බවයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා පැවැති මහෝත්සවය පරිනිර්වාණ සූත්‍රයේ මැනවින් විස්තර කොට තිබේ. ඉන් පසු වෙසක් උත්සවය බෞද්ධ රටවල අද දක්වාම පවත්වනු ලැබේ.   

මීට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහත දීපංකර බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ අප මහා බෝසතාණෝ සිටු කුලයක ඉපිද සියලු සම්පත් හැර දමා සුමේධ පණ්ඩිත නමින් තවුස් ගෙන ධ්‍යානලාභී වූහ. බොහෝ කාලයක් බුදු වීම පිළිබඳව සිතින් සිතමින්, බසින් කියමින් ගුණ දම් පුරමින් වෙසෙනුයේ දීපංකාර බුදුන් ගැන අසා උන්වහන්සේ බැහැදැකීමට ගියේය. බුදුන්වහන්සේ සුමේධ තාපසයන් දෙස බලා මේ තැනැත්තේ අසුවල් කාලයෙහි ගෞතම නමින් බුදු වන්නේ යි නියත විවරණ දී වදාළ සේක. ඒ වෙසක් පුන් පොහෝ දිනකය. විවරණ ලැබූ දා සිට දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන පාරමී ධර්මයන් පුරමින් බුදු බව සිදු කරන ගුණ දහමින් ක්‍රමයෙන් දියුණු වෙමින් විත් දෙව් ලොව උපන්නේය. පසුව සුදුසු කාලය, රටය, දේශය, කුලය, මවය යන පස් මහ බැලුම් බලා සුදොවුන් රජුට දාව මහාමායා දේවිය කුසින් වෙසක් පුන් පොහෝ දිනක මෙලොවට බිහි වූයේය.

මෙසේ ඉපිද සියලු සැප සම්පත් විඳිමින් සිටින්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක සසර කල කිරී ගිහි ගෙය හැර දමා පැවිදිව විමුක්තිය සොයා විවිධ ගුරුවරුන් සොයා ගිය මුත් ඵලක් නොවීය. දුෂ්කර ක්‍රියා කිරීමෙන් එය ලබාගත හැකි වේ යයි සිතා එය ද අත්හදා බැලූමුත් එයින් ද ඵලක් නොවීය. පසුව එය ද අත හැර වීර්යය වඩන්නේ පුබ්බේනිවාසානුස්සති ඤාණය, දිබ්බචක්ඛු ඤාණය, ආසවක්ඛය ඤාණය නම් වූ ත්‍රිවිද්‍යා නුවණ දරා දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගෙන සියලු කෙළෙසුන් නසා ඒ වෙසක් පුන් පොහෝදා බුදු බව ලැබූ සේක.   

බුදු බව ලැබීමෙන් පසු 45 වසරක් ලෝ වැසි ජනතාව සසර දුකින් මුදවාලීම සඳහා අපමණ වෙහෙසක් දරා ඒ වෙසක් දා අරුණෝද්ගමනයට පෙරාතුව චතුත්ර්ථ ධ්‍යානයෙන් නැගී සිට ඒ මහා කාරුණික භාග්‍යවත් අර්හත් සමයක් සම්බුද්ධ ශාන්ති නායකයාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවට තමන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරූපාදීශේෂ නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. එදා සිට සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙම ත්‍රෛමංගල්‍යය බැතියෙන් සමරනු ලැබේ. ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට තවත් හේතූන් කිහිපයක් නිසා මෙය ආගමික මෙන්ම ජාතික හා සංස්කෘතික වශයෙන් ද ඉතාමත් වැදගත් දිනයක් වන්නේය.   

ප්‍රථම ධර්‍මසංගීතියෙන් පසු ආනන්ද හිමි‍යෝ වසර සතළිසක් වැඩ විසූ හ. ඒ වන විට උන්වහන්සේ ගේ ආයුෂ එකසිය විසි අවුරුද්දක් සම්පූර්‍ණ ය. සත් දවසකින් පිරිනිවන් පාන බව භික්ෂූන්ට දැනුම් දුන් හ. ඒ අනුව තථාගත පරිනිර්වාණයෙන් සතළිස් වන වර්‍ෂයෙහි වෙසක් පුන් පොහෝදා රෝහිණී නදිය මැද අහසෙහි දී සතර ඉරියව්වෙන් තොර ව වැඩ හිඳ දහම් දෙසා “මා විසින් ශාස්තෲන් වහනසේ ඇසුරු කරන ලදී. බුදුරදුන් ගේ අනුශාසනය ද කරන ලදී. ඉතා බර වූ කෙලෙස් බර බහා තබන ලද්දේ ය. නැවැත මාගේ ඉපදීමක් නො මැත්තේ යැ”යි වදාරා “මාගේ සිරුර බිඳී කොටස් දෙක දෙගං තෙරට යේව”යි ඉටා තේජෝ කසිණ සමවතට, සමවැද පිරිනිවන් පෑ සේක. 

ආනන්ද හිමියන් සිවු ඉරියව්වෙන් තොරව රහත් වන බවත්, පිරිනිවන් පානා බවත් බුදුහු වදාළහ. ආනන්ද හිමියන් ගේ පිරිනිවීම සිදු වී ඇත්තේ වෙසක් පුනු පොහෝ දිනයක ය.

එසේම ශ්‍රී ලංකාවෙහි වසර බොහෝ ගණනක් මුළුල්ලෙහි නියම වශයෙන් සිංහල බෞද්ධ රජවරුන් ගේ අභිෂේකය සිදු කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනයක ය. මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා ගේ වර්ෂයක් පාසා කැරෙන උපසම්පදා මහෝත්සවය පැවැත් වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය. එසේම ශ්‍රී ලංකාවෙහි වසර බොහෝ ගණනක් මුළුල්ලෙහි නියම වශයෙන් සිංහල බෞද්ධ රජවරුන් ගේ අභිෂේකය සිදු කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනයක ය. මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා ගේ වර්ෂයක් පාසා කැරෙන උපසම්පදා මහෝත්සවය පැවැත් වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

වෙසක් උත්සවය පිළිබඳ පළමුකොට ම මහාවංශයෙහි සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමා ගේ රාජ්‍ය සමයේ ය. සූවිසි වසක් රාජ්‍යය කළ එතුමා වෙසක් උත්සව සූවිස්සක් පැවැත් වූ බව එතුමා ගේ පින් පොතෙහි සඳහන් වෙයි. එතුම‍ාට ප්‍රථමයෙන් ද වෙසක් උළෙල ලක්දිව පවත්වන්නට ඇතැයි අනුමානයෙන් සිතිය හැකි ය. අශෝක චක්‍රවර්තීන් ප්‍රදර්ශන හා පෙරහැර පැවැත්වූ බව සිවුවන සෙල්ලිපියෙහි සඳහන් වෙයි. ලංකාවට ධර්මදූත සේවය සඳහා වැඩම කළ මිහිඳු මහ රහත් මාහිමියන් තම පියාණන් විසින් පවත්වන ලද මේ උත්සව හා පෙරහැරවල් දැක ඇත. දෙවන පෑ තිස් රජු හට ද මේ පිළිබඳ අවබෝධයක් ඇති කරවන්නට ඇතැයි සිතිය හැකි ය. දුටුගැමුණු රජතුමා විසින් ඉතා ම විසිතුරු අන්දමින් පවත්වන ලද මේ උත්සවය පසු කාලීන බොහෝ රජවරු ආදර්ශයට ගෙන නො කඩවා ‍පැවැත්වූහ. භාතිය රජතුමා වෙසක් උත්සව විසි අටක් ද, වසභ රජතුමා වෙසක් උත්සව සතළිස් සතරක් ද කරවී ය. වෝහාරතිස්ස රජ - ගෝඨාභය රජ - ජෙට්ඨ තිස්ස රජ - දළ මුගලන් රජ - දෙවන සේන රජ ආදී රජවරු චාරිත්‍රානුකූල ව වෙසක් උත්සව පවත්වා ඇත්තාහ. වර්ෂයක් පාසා වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීම අනුරාධපුර යුගයේ විසූ බොහෝ බෞද්ධ රජවරුන් හට උරුම වූ කාර්‍ය්‍යයක් බව සිතිය හැකි ය. පළමුවන පරාක්‍රම බාහු - දෙවන පරාක්‍රම බාහු ආදී රජවරුන් විසින් ද මේ ශ්‍රෙෂ්ඨතම බෞද්ධ උරුමය ආරක්ෂා කරන ලද බව පැහැදිලි ය. අපේ පැරණි මුතුන් මිත්තන් ගෙන් උරුම වූ මේ ශ්‍රෙෂ්ඨ ජාතික හා ආගමික උත්සවය අවුරුද්දක් පාසා ම බෞද්ධයන් විසින් ඉතා විචිත්‍රාකාරයෙන් පවත්වාගෙන එනු ලැබේ.

දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට ජනතාව භූක්ති විඳින ලද වෙසක් නිවාඩුව ලන්දේසි ආණ්ඩුකාරයා විසින් 1770 නොවැම්බර් පළමුවැනිදා ඔවුන්ගේ අණසක පිහිටුවා තිබූ මුහුදුබඩ පළාත්වල තහනම් කරන ලදී. බ්‍රිතාන්‍ය ජාතිකයන් රටම යටත් කරගත් පසු 1817 අප්‍රියෙල් පස් වැනිදා ඉරිදා නිවාඩුව හඳුන්වා දී වෙසක් නිවාඩු තහනම රට පුරා ක්‍රියාත්මක කරන ලදී. 1883 දී බොරැල්ලේ සිට කොටහේනේ දීපදුත්තාමාරාමය වෙත ගමන් කළ බෞද්ධ පෙරහරක් අන්‍යාගමික කණ්ඩායමක් විසින් කඩාකප්පල් කරන ලදී. ඉන් පසු බෞද්ධයන්ට බොහෝ කෙනෙහිලිකම් සිදුවන්නට විය. එය ඉවසා දරාගත නොහැකිව බෞද්ධ ආරක්ෂක කමිටුව යනුවෙන් කමිටුවක් පත් කර ගන්නා ලදී. අකටයුතු ගැන කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුව ගත් තීරණයක් අනුව සෙන්පති ඕල්කට්තුමා යටත් විජිත ලේකම් හමුවීමට 28.01.1884 දින ලන්ඩනය බලා ගියේය.   

ලන්ඩනයේ දී සය වැදෑරුම් ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරන ලදී. ඒවා අතුරින් වෙසක් පොහෝ දින නිවාඩුවට ලබා දීමට එකඟ වී 27.03.1885 දින ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලදී. මෙයින් උද්දාමයට පත් බෞද්ධ ආරක්ෂක කමිටුව මෙම ජයග්‍රහණය සැමරීම සඳහා කිසියම් සංකේතයක් වශයෙන් කොඩියක් නිර්මාණය කළ යුතුයි තීරණය කරන ලදී. ඉන්දියාවේ සිට පැමිණි ඕල්කට්තුමා කොඩිය දැක බෙහෙවින් සතුටට පත්ව එය ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් කළ යුතු යැයි යෝජනා කරන ලදී.   

1950 මැයි මස 25 වැනිදා රටවල් 29ක නියෝජිතයන් 138 දෙනකුගේ සහභාගීත්වයෙන් මහනුවර දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ ප්‍රථම රැස්වීමේදී ප්‍රථම සභාපති වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ යෝජනාවක් අනුව අපගේ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙස ඒකමතිකව සම්මත කර ගන්නා ලදී. 13.12.1999 දින එක්සත් ජාතීන්ගේ 54 වැනි සැසිවාරයේ දී අනිකුත් බෞද්ධ රටවල ද එකඟත්වයෙන් දිවංගත රාජන් කදිරගාමර් මහතාගේ යෝජනාවක් අනුව වෙසක් පොහෝ දිනය අන්තර්ජාතික වශයෙන් පිළිගත යුතු යයි සම්මත කර ගන්නා ලදී.

ආශ්‍රිත :  lankadeepa.lk / pitaka.lk 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu