හෝමාගම පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන නොවැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය 28 පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකාර නිලධාරියා හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි. පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟම, අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ සේවය පසුගිය 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඊට අමතරව එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේද සේවය අත්හිටුවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් අත්හිටුවා තිබේ.
සැකකරු සිරමැදිරියේ රඳවා සිටින කාලය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලීමට අපොහොසත් වීම, විමර්ශන නිලධාරීන්ට නිසි උපදෙස් ලබා නොදීම සහ අත්අඩංගුවට ගැනීම්වලට අදාළ ලේඛන නිසි පරිදි පවත්වාගෙන ගොස් ඇද්දැයි පරීක්ෂා නොකිරීම යන චෝදනා ඔහුට එල්ල වී ඇත.
පසුගිය ඔක්තෝබර් 25 වන දින හෝමාගම පොලිස් නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් ළඟ තබාගෙන සිටින බවට පවසමින් පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයාව අත්අඩංගුවට ගෙන තිබිණි. කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු, මෙලෙස පොලිස් භාරයේ සිටියදී මියගොස් ඇත.
කෙසේ වෙතත්, මියගිය තරුණයාගේ ඥාතීන් දැඩි ලෙස චෝදනා කරන්නේ පොලිස් අභ්‍යන්තරයේදී සිදු කරන ලද අමානුෂික පහරදීම් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි

