මම ෆෝන් එක හොරකම් කළේ නෑ අම්මේ කවුරුහරි බෑග් එකට දාලා
බලංගොඩම හැඬවූ පුංචි දියණියගේ මරණයට හේතුව හෙළිවෙයි
බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක් පෙරේදා (13දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති සිසුවියයි.
එහිදී සාක්‍ෂි දුන් මියගිය දැරියගේ මව මෙසේ ප්‍රකාශ කළාය.
මෙසේ මියගියේ මගේ වැඩිමහල් දියණියයි. ඇය 4 වැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියේ. මේ සිද්ධිය වූ දිනයේ ඇය පාසල් ගියේ නෑ. මම ඇයගෙන් පාසල් නොයන්නට හේතු විමසුවා. ඒ වෙලාවේ ඇය "යන්න බැහැ. පසුදා යන්නම්" කීවා. මීට මාස 3කට පමණ පෙර දියණියගේ පාසල් බෑගයේ ජංගම දුරකථනයක් තිබී මට හම්බවුනා. පස්සේ මම දියණියද සමඟ පාසලට ගොස් ඒ ජංගම දුරකථනය ගුරුතුමියට භාර දුන්නා.
මම ෆෝන් එක සොරකම් කළේ නැහැ. එහෙත් පාසලේදී කවුරුන් හෝ මගේ බෑගයට ෆෝන් එක දමා තිබෙනවා කියා දියණිය පැවසුවා. එත් ගුරුතුමිය ඒ කතාව පිළිගත්තේ නැහැ. දුව පාසල් ගිය දිනවලදී මේ ෆෝන් එක සොරා ගත්තා නේ දැයි කීප වරක්‌ම ගුරුවරිය චෝදනා කර තිබෙනවා. පසුව පාසලේ ළමුන් ද පාතිමා ෆෝන් හොරා යෑයි උසුළු විසුළු කර තිබෙනවා. මම දියණියට ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු කොහොම හරි පාසල් යන්න කියා බල කළා. ඇතැම් අවස්‌ථාවල දුවට දඬුවම් ද කළා. මම කුලියට තේ දලු නෙළා ජීවත් වෙන්නේ. මගේ සැමියා මීට වසර 3කට පමණ පෙර අපිව දාලා ගියා.
කෙසේ හෝ පසුගිය (13දා) අසල නිවසකට මම ගියා තේ දලු කැඩීමට වැඩ තිබේදැයි සොයා බලන්න. පැයකට පමණ පසු නිවසට එද්දී දුව නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියා. පසුව මා මේ සිද්ධිය අසල්වාසී අයට දැනුම් දී පොලිසියට දැනුම් දුන්නා.
දැරියගේ මිත්තණිය මෙසේ ප්‍රකාශ කළාය.
මෙයා පේන්න හිටියේ නෑ. ඊට පස්සේ වටේම ගිහින් මෙතන බලනකොට තමයි කෑගැහුවේ. ඊට පස්සේ තමයි අපි දුවගෙන ආවේ. ළමයින්ට වචනකින්වත් හිත රිදෙන ඒවා කරන්න එපා. වැරැද්දක් තියෙනවනම් දරුවන්ගේ දෙමාපියන් ගෙන්නලා ඒක විසඳන්න. උගන්වලා හොඳ තැනකට ගන්න මම සෑහෙන්න උත්සාහ ගත්තා. අන්තිමට මේ දේ වෙයි කියලා මම හිතුවේ නැහැ.

