කොරියෝලිස් ආචරණයේ සීමාව ඉක්මවා යාම
සියවස් ගණනක් තිස්සේ සමකය අසල (0°–5° අක්ෂාංශ) සුළි කුණාටු ඇතිවීම වැළැක්වූ ප්‍රධානතම සාධකය වූයේ, සුළි කුණාටුවක් භ්‍රමණය වීමට අත්‍යවශ්‍ය වන කොරියෝලිස් ආචරණය (Coriolis Effect)දුර්වල වීමයි. පෘථිවි භ්‍රමණය හේතුවෙන් චලනය වන වස්තූන් (සුළඟ, ජලය, ගුවන් යානා වැනි) ඒවා ගමන් කරන දිශාවෙන් අපගමනය වීම මෙයින් සිදුවේ.
උත්තර අර්ධගෝලයේදී වස්තූන් දකුණට අපගමනය වන අතර, දක්ෂිණ අර්ධගෝලයේදී වමට අපගමනය වේ.
නිවර්තන සුළි කුණාටු ඇතිවීමට මෙම බලය අත්‍යවශ්‍ය වන නමුත්, සමකය ආසන්නයේ එය ඉතා දුර්වල වීම නිසා එම කලාපය ඓතිහාසිකව සුළි කුණාටුවලින් ආරක්ෂා වී තිබිණි.
වෙනස් වූ ඉතිහාසය සහ නව කුණාටු ප්‍රවණතාව
පෙර නොවූ විරූ ලෙස හරිතාගාර වායූන් මුදා හැරීම නිසා පසුගිය දශක කිහිපය තුළ සිදුවූ දැවැන්ත වායුගෝලීය සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත.
මෑතකදී හටගත් වමේයි (2001), අග්නි (2004), ඕකි (2017) මෙන්ම මෑතකදී හටගත් ෆැබියන්, අයාලි, ඩිට්වා (2025), සෙන්යාර් සහ කොටෝ වැනි කුණාටු එකවරම නිවර්තන කලාපය අසලින් නැඟී ඒම මගින් තහවුරු වන්නේ, මීට පෙර 'නොහැකි' යැයි විද්‍යාත්මකව සම්මත වූ තත්ත්වය පෘථිවියට දරා ගැනීමේ සීමාව පහු කරමින් වෙනස් වී ඇති බවයි.
උෂ්ණත්වය ඉහළ යාම සහ "ජල බෝම්බ" සංසිද්ධිය
මීට ප්‍රධානම හේතුව වන්නේ ඉහළ මුහුදු මතුපිට උෂ්ණත්වයයි (SST). දේශගුණික විපර්යාස හේතුවෙන් සමකය ආසන්නයේ මුහුදු මතුපිට උෂ්ණත්වය දැන් 30°C–31.5°C තරම් ඉහළ අගයක් ගනී.
සාගරයෙන් ලැබෙන මෙම අමතර තාප ශක්තිය මගින් අතිවිශාල ගුප්ත තාප ශක්තියක් (Latent Heat) මුදාහරින අතර, එය දුර්වල කොරියෝලිස් බලපෑමක් සහිත සමකයේ පවා දැවැන්ත කුණාටු සෑදීමට අවශ්‍ය බලය සපයයි.
සිරස් සුළං කප්පාදුව (Vertical Wind Shear) අඩුවීම සහ වායුගෝලයේ වැඩි තෙතමනය රඳවා ගැනීමේ හැකියාව නිසා මෙම අවපීඩන පද්ධති මහා ජල කඳක් රැස් කරගත් "ජල බෝම්බ" මෙන් ක්‍රියා කරයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට වායුගෝලයේ ජලවාෂ්ප රඳවාගැනීමේ හැකියාව උෂ්ණත්වය සෑම 1°Cකින් ඉහළ යන විට ආසන්න වශයෙන් 7%කින් වැඩි විය හැක.
ශ්‍රී ලංකාවට සහ කලාපයට එල්ල වන අතිශය අවදානම් තත්ත්වය
බලගතු ජාතීන්ගේ හරිතාගාර වායු මුදා හැරීමේ කිසිදු අඩුවක් නොමැතිවීම සහ කලාපීය ආර්ථික වර්ධනයන් හමුවේ ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් අතිශය අවදානම් සහගතය.
හදිසි හා අනපේක්ෂිත සුළි කුණාටු අවදානම (Sudden Local Genesis): සාම්ප්‍රදායිකව දිවයිනට බලපෑවේ දුර බැහැර සාගර ප්‍රදේශවල සෑදී දින කිහිපයක් පුරා ගමන් කරමින් පැමිණි අවපීඩන පද්ධතිය. එහෙත් ඉදිරියේදී දිවයිනට ඉතා ආසන්න සාගර තීරු තුළ (විශේෂයෙන්ම 0°–7° අක්ෂාංශ අතර) හදිසියේ කුණාටු උත්පාදනය වීමේ ප්‍රවණතාව ඉහළ යන අතර, එයින් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ලැබෙන කාලය (Lead Time) ඉතා අවම වේ.
අන්තර් මෝසම් සමයේ අතිරේක අවදානම: ඔක්තෝබර් මුල් සතියේ සිට දෙසැම්බර් මුල් සතිය දක්වා වන අන්තර් මෝසම් සමය ශ්‍රී ලංකාවට අතිශය අවදානම් සහගත වන්නේ, ගිම්හානය අවසන් වීමත් සමඟ ලංකාව සහ ආසන්න රටවල සාගර මතුපිට උෂ්ණත්වය උපරිම මට්ටමකට ළඟා වීමයි.
අධික වර්ෂාපතනය: පර්යේෂණ සහ IPCC දත්තවලට අනුව, මෙම ඉහළ සාගර උෂ්ණත්වය සහ වායුගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දිවයිනට ආසන්නව මිලිමීටර් දෙතුන්සීය ඉක්මවූ අධික වර්ෂාපතන ඇතිවීමේ සම්භාවිතාව දැඩි ලෙස ඉහළ යයි.
දේශගුණික සංයෝජන: මේ වසරේ නිර්මාණය වී ඇති එල් නිනෝ (El Niño) තත්ත්වය සමඟ ඉන්දියානු සාගර ද්විප්‍ර්‍රවේශය (Indian Ocean Dipole - IOD) සහ දේශීය සාගර උෂ්ණත්වය එකට ක්‍රියා කිරීමෙන් ඇතැම් කාලවල අධික වර්ෂාපතනය, හදිසි ගංවතුර, නායයෑම් සහ වේගයෙන් වර්ධනය වන කාලගුණ පද්ධති සඳහා වන අවදානම ආන්තිකව වෙනස් විය හැක.
මෙම නව දේශගුණික යථාර්ථය හමුවේ, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට පෙර සූදානම සහ ආපදා කළමනාකරණ ක්‍රමවේදයන් මුළුමනින්ම නවීකරණය කිරීමට කාලය එළඹ ඇත.

